BREAKING NEWS
Search

කළු ගඟ මුහුදට වැටෙන තැන වෙනසක් කරන්න යයි

537

 

කළුතර කැලිඩෝ වෙරළ තීරය, කලපුව සහ කළු ගග මුවදොර යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2017 වසරේදී ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා කළු ගඟ මුව දොරෙහි ඇති කැලිඩෝ වැලිපරය ගඟට සෘජුව මුහුණ ලා ඇති ස්ථානයෙන් කපා ජලය බැස යාමට සැලැස්වීම නිසා එම වැලි වැටිය සම්පූර්ණයෙන්ම සේදී ගොස් ආසන්න කිලෝමීටර 2.5 ක පමණ වෙරළ තීරයක් උග්‍ර වෙරළ ඛාදනයට ලක් වී ඇති අතර, කළු ගඟ මෝය පෙර තිබූ ස්වභාවික ස්ථායී පිහිටීමට මේ වන තෙක් පත් වී නොමැත.

එම තත්ත්වය යටතේ උතුරු කළුතර වෙරළ තීරයේ ශීඝ්‍ර වෙරළ ඛාදනයක් සිදු වෙමින් පවතින අතර, එය සංචාරක කර්මාන්තයට සහ යටිතල පහසුකම්වලට දැඩි බලපෑමක් සිදු කර ඇත.

එසේම, කළුතර කලපුවේ ජලය ගලා නොයාම, දූෂණය වීම හා අවසාදිත තැන්පත් වීම හේතුවෙන් කලපු ධීවර ගැටලු සහ පාරිසරික ගැටලු පැන නැගී තිබේ. එබැවින්, එම ගැටලු වලට දීර්ඝ කාලීන පිළියමක් ලෙස කළු ගඟ මෝයට දකුණු දිශාවෙන් පිරී ඇති වැලි පරය විවෘත කර, ඒ හරහා කළු ගඟ පෙර තිබූ ආකාරයට දකුණට යොමු කිරීම සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනා කරණ දෙපාර්තමේන්තුව විසින් විධිමත් අධ්‍යයනයක් සිදු කර, අදාළ පාර්ශ්වයන් විමසමින් ව්‍යාපෘතියක් සැලසුම් කරනු ලැබ ඇත. එකී ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Lankadeepa (අංජුල මහික වීරරත්න)

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!