BREAKING NEWS
Search

බදු අඩු කරගන්න ඇමරිකාවට දුන් පොරොන්දු රහසක්.. හෙලි නොකරයි…

2628

උපුල් වික්‍රමසිංහ

දෙරටේ නියෝජිතයන් අතර තීරු බදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුව ද ඒවායේ දී එකඟ වූ ක්ෂේත්‍ර හා ඇමෙරිකාවෙන් මෙරටට අපනයනය කරන භාණ්ඩ සඳහා අය කරනු ලබන තීරු බදු ප්‍රතිශත අඩු කරන ප්‍රමාණය පිළිබඳ කිසිදු නිල තොරතුරක් මේ දක්වා රජයේ පාර්ශ්වයෙන් එළිදක්වා නොතිබීම බරපතළ ගැටලුවක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

එබැවින් පැවැත් වූ සාකච්ඡා වලදී එකඟ වූ ක්ෂේත්‍ර සහ තීරු බදු අඩු කරන ප්‍රමාණ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැදගත් බව ද ඔවුහු කියති.

චීනය, ඉන්දියාව ඇතුළු ප්‍රබල ආර්ථිකයන් සහිත රටවල් ගණනාවක් සමග ශ්‍රී ලංකාව සමීප ආර්ථික සබඳතා පැවැත්වුව ද දසක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ඇමෙරිකාව සමඟ කළ වෙළෙඳ ගනුදෙනු වලින් රටට විශාල වෙළෙඳ වාසියක් (අතිරික්තයක්) හිමි වුණු බැවින් ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට කරන අපනයන මත අය කිරීමට යෝජිතසියයට 30 ක තීරු බද්දෙන් එම වෙළෙඳ අතිරික්තය සැලකිය යුතු අනුපාතයකින් පහත යා හැකි බව නම හෙළි කිරීමට අකැමැති වූ මුදල් අමාත්‍යාංගයේ හිටපු ලේකම් වරයෙක් සඳහන් කළේය.
වසර 2024 දී පමණක් ශ්‍රී ලංකාවට ඇමෙරිකාව සමග කළ වෙළෙඳ ගනුදෙනුවලින් ඩොලර් බිලියන 2.6 ක වෙළෙඳ වාසියක් හිමි වූ බව කී හෙතෙම චීනය, ඉන්දියාව ඇතුළු ප්‍රබල රටවල් සමග ශ්‍රී ලංකාව කොතෙක් සමීපව වෙළෙඳ ගනුදෙනු කළ ද ඒවායෙන් එම රටවල් විශාල වෙළෙඳ අතිරික්තයක් ලබාගන්නා බව ද කීවේ ය.

එබැවින් ඉදිරි දිනවල ඇමෙරිකානු නියෝජිතයන් වෙළෙඳ දෙපාර්තමේන්තුවේ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නම් වෙළෙඳ අතිරික්තය ගැන මනා දැක්මත් ඇතිව සාකච්ඡා කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මුල්වරට තීරු බදු ප්‍රකාශයට පත් කළ පසු එම බදු ප්‍රතිශත අඩු කර ගැනීම සඳහා ඇමෙරිකාවේ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (USTR) නිලධාරීන් සමග සාකච්ඡා පැවැත් වූ රටවල් බොහොමයක් එම සාකච්ඡා සඳහා රාජ්‍ය නායක මට්ටමේ නායකත්වයක් ලබා දුන්න ද සාකච්ඡා සඳහා එක් වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඉහළ දේශපාලන නායකත්වයක් නොදීම බරපතළ තත්ත්වයක් බව ද අවම තරමින් අගමැතිවරිය එම සාකච්ඡා සඳහා සහභාගි වූවා නම් වඩාත් හොඳ යැයි ද හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ ප්‍රකාශ කළේ යෝජිතසියයට 30 ක තීරු බදු ක්‍රියාත්මක කිරීමෙන් පසු ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකානු වෙළෙඳ පොළට භාණ්ඩ අලෙවියෙන් උපයන ආදායම වාර්ෂිකව ඩොලර් මිලියන 400-500ත් අතර ප්‍රමාණයකින් අඩු වීමට ඉඩ ඇති බව ය. එමෙන් ම මෙම තීරු බදු ප්‍රතිශත තවත් අඩු කර ගැනීම සඳහා දෙරටේ නියෝජිතයන් ඉදිරියේ දී සාකච්ඡා පැවැත්වුව හොත් එහිදී විස්, බටර්, මස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වැනි කෘෂිකාර්මික භාණ්ඩ වැඩි වශයෙන් ශ්‍රී ලංකා වෙළෙඳ පොළට අපනයනය කිරීම සඳහා ඇමෙරිකානු පාර්ශ්වයෙන් ඉල්ලීම් ඉදිරිපත් වීමට ඉඩ ඇති බව ද කීවේ ය.

ඇමෙරිකානු සේවා හා ආයෝජන සඳහා ශ්‍රී ලංකා වෙළෙඳ පොළ පුළුල් ව යොදා ගැනීම සඳහා උපායමාර්ගික වශයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කිරීමට ඉඩ ඇති බවත් කොළඹ වරාය නගරය ව්‍යාපෘතියට බදු සහන ලබා නොදෙන ලෙස ඉල්ලා සිටීමට ඉඩ ඇති බවත් මහාචාර්යවරයා පැවසීය.

අදාළ සාකච්ඡාවල දී වෙළෙඳාමෙන් ඔබ්බට ගොස් කෘෂිකර්ම, සේවා වැනි අංශ වල ආයෝජන ඉඩ ප්‍රස්ථා පුළුල් කර ගැනීමට අවධානය යොමු කළ යුතු බව කී මහාචාර්යවරයා බලශක්තිය, තොරතුරු තාක්ෂණය, නාවුක වැනි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බවත් තීරු බදු අවිනිශ්චිතතාව පවතින තෙක් ඇමෙරිකාවෙන් ලංකාවට විශාල ඇඟලුම් ඇනවුම් නොලැබෙනු ඇති බවත් ප්‍රකාශ කළේ ය.

මේ අතර ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ උපසසභාපති ෆීලික්ස් ප්‍රනාන්දු පැවසුවේ යෝජිතතීරු බදු පැනවීමෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඇගලුම් ආදායම්වල අඩුවක් අපේක්ෂා කළ නොහැකි වුව ද ශ්‍රී ලංකාවේ ඇඟලුම් වල අලෙවිය පහළ යැමෙන් ලංකාවට එරටින් ලැබෙන ඇඟලුම් ඇනවුම් අඩු වීමට ඉඩ ඇති බව ය.

ඉන්දියාව, බංග්ලාදේශය, වියට්නාමය කාම්බෝජය යන රටවලට ඇමෙරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිශත ලංකාවට පැනවූ ප්‍රමාණයට වඩා වැඩි මට්ටමක පැවතියහොත් ඇමෙරිකාවෙන් ලංකාවට ලැබෙන ඇඟලුම් ආදායම් වල යම් වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි යැයි ද ඔහු කීවේ ය.

ඉදිරියේ දී ඇමෙරිකාව සමග මෙම තීරු බදු සම්බන්ධයෙන් පැවැත්වීමට අපේක්ෂා කරන සාකච්ඡා සහ ඒවායෙහි දී අවධානය යොමු කිරීමට අපේක්ෂිත ක්ෂේත්‍ර ගැන වීම සීමට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරාජා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

– ලංකාදීප




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!