හුදකලා සාර්ථක කතාන්දරවලින් පමණක් මහාචාර්ය විතාරණ කිසිවිටෙකත් තෘප්තිමත් නොවීය. ජාතික රාමුවක් නොමැතිව නවෝත්පාදනය තිරසාර නොවන බව ඔහු තේරුම් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2010 දී කැබිනට් අනුමැතිය ලැබූ ශ්‍රී ලංකාවේ පළමු ජාතික විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන (STI) උපාය මාර්ගය සැකසීමට ඔහු මූලික විය.
2026 පෙබරවාරි 13 වන දින උදෑසන, නාවල පිහිටි ඒ මහතාගේ නිවසේදී මහාචාර්ය තිස්ස විතාරණ මහතා නිහඬවම මෙලොවින් සමුගත් පුවතත් සමග ශ්‍රී ලංකාව අවදි විය. ඔහු සමග සමුගන්නේ විද්‍යාව හා පොදු ජීවිතය තුළ සිටි දැවැන්ත චරිතයක් පමණක් නොව, දුර්ලභ ගණයේ ජාතික හෘදසාක්ෂියක් ද වේ. විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය සෑමවිටම ජනතාවට, ජාතියට සහ අනාගතයට සේවය කළ යුතු බවට පවතින රැල්ලට එරෙහිව යමින් පවා ඔහු දැඩිව අවධාරණය කළේය.
මම මහාචාර්ය විතාරණ මහතාව කුඩා කල සිටම හඳුනමි. 1970 සහ 80 දශකවල මගේ පියා වූ අභාවප්‍රාප්ත ජී. වී. එස්. ද සිල්වා මහතා හමුවීමට ඔහු අපේ නිවසට පැමිණි අයුරු මට හොඳින් මතකයි. එකල ඔහු මගේ ජීවිතයේ වඩාත්ම වැදගත් ගුරුවරයකු සහ උපදේශකයකු වනු ඇතැයි මම කිසිසේත් නොසිතුවෙමි. ඔහු සමග මගේ පළමු වෘත්තීය සම්බන්ධතාවය ඇති වූයේ 1986 දී ය. ඒ, මගේ ක්ෂුද්‍ර ජීවවිද්‍යා පශ්චාත් උපාධි පුහුණුව සඳහා පශ්චාත් උපාධි වෛද්‍ය විද්‍යායතනය (PGIM) විසින් මාව වෛද්‍ය පර්යේෂණ ආයතනයට (MRI) අනුයුක්ත කළ අවස්ථාවේදීය. එම හමුවීම ඔහුගේ මඟපෙන්වීම යටතේ හැඩගැසුණු දීර්ඝ වෘත්තීය ගමනක ආරම්භය සනිටුහන් කළේය.
මට ඔහු මුලින්ම ගුරුවරයකු වූ අතර, පසුව උපදේශකයකු ද, පසුව සගයකු සහ මිතුරෙකු ද විය. ඔහු සෑමවිටම බුද්ධිමය උත්තේජනයක් සහ සදාචාරාත්මක ස්ථාවරත්වයක් ලබා දුන් මූලාශ්‍රයක් විය. මගේ වෘත්තීය ජීවිතයේ දිශානතිය සහ අභිලාෂයන් ඔහු සමග පැවති ඇසුර නිසා බෙහෙවින් බලපෑමට ලක් විය. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විද්‍යා හා නවෝත්පාදන පද්ධතියේ පරිණාමයේ වඩාත්ම තීරණාත්මක කාල පරිච්ඡේදය ලෙස හැඳින්විය හැකි කාලය තුළ මහාචාර්ය විතාරණ සමග සමීපව කටයුතු කිරීමට මට වරම් ලැබුණි.
වෛද්‍ය අධ්‍යාපනයේ ගුරුවරයා සහ ප්‍රතිසංස්කරණවාදියා
මහාචාර්ය විතාරණ විද්‍යා ප්‍රතිපත්ති පිළිබඳ ජාතික චරිතයක් වීමට පෙර, ඔහු හදවතින්ම විද්‍යාඥයකු සහ ශාස්ත්‍රීය ආයතන ගොඩනඟන්නෙකු විය. 1995 දී, MRI ආයතනයෙන් විශ්‍රාම ගැනීමෙන් කෙටි කලකට පසු, ඔහු
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලුතින් පිහිටුවන ලද වෛද්‍ය විද්‍යා පීඨයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ නිර්මාතෘ මහාචාර්යවරයා ලෙස පත් කරන ලදී. එම පීඨය එකල අලුත්ය, සම්පත් සීමිත විය, බලාපොරොත්තු ඉහළ මට්ටමක පැවතුනි. එහෙත් ඔහු එය දුටුවේ පවතින ආකෘතීන් අනුකරණය කිරීමට නොව, ඒවා නැවත සිතා බැලීමට ලැබුණු අවස්ථාවක් ලෙසය.
1996 දී මම ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස එම පීඨයට සම්බන්ධ වීමත් සමග අපගේ දීර්ඝ වෘත්තීය සහයෝගිතාවය ආරම්භ විය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂුද්‍ර ජීව විද්‍යා අධ්‍යාපනය සම්ප්‍රදායික “ක්ෂුද්‍ර ජීවීන් කේන්ද්‍ර කරගත්” (bug-based) ප්‍රවේශයෙන් ඔබ්බට ගොස් රෝග කේන්ද්‍ර කරගත් විෂය මාලාවක් කරා ගමන් කළ යුතු බවට වූ ස්ථිර විශ්වාසය අප දෙදෙනාටම තිබුණි.
මෙම වෙනස ක්‍රියාත්මක කිරීම පහසු නොවීය. එය පවතින ශාස්ත්‍රීය සම්ප්‍රදායන්ට අභියෝග කළ අතර ඒ සඳහා අධ්‍යාපනික ධෛර්යය සහ ශක්තිමත් ආයතනික සහාය අවශ්‍ය විය. මහාචාර්ය විතාරණ ඒ දෙකම ලබා දුන්නේය. ඔහුගේ මඟපෙන්වීම යටතේ, ජයවර්ධනපුර වෛද්‍ය පීඨය පූර්ණ රෝග කේන්ද්‍රීය ක්ෂුද්‍ර ජීවවිද්‍යා විෂය මාලාවක් හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ පළමු පීඨය බවට පත් විය. පසුව ඔහුගේ ජාතික මට්ටමේ කටයුතු හැඩගැසුණු දැක්මේ පැහැදිලිකම, ඉවසීම සහ සම්ප්‍රදායික ව්‍යුහයන් ප්‍රශ්න කිරීමේ කැමැත්ත මෙහිදී මැනවින් පෙන්නුම් කළේය.
විද්‍යාව අත්නොහළ දේශපාලනඥයා
ශ්‍රී ලංකා ජාතික විද්‍යා ඇකඩමියේ සාමාජිකයකු වූ මහාචාර්ය විතාරණ නිසැකවම විද්‍යාඥයකු විය. වෛද්‍ය විද්‍යාව, බැක්ටීරියා විද්‍යාව සහ වෛරස් විද්‍යාව පිළිබඳ පුහුණුව ලැබූ ඔහු MRI ආයතනය හරහා ජාත්‍යන්තර කීර්තියක් දිනා ගත්තේය. ඔහුගේ විද්‍යාත්මක නිපුණතාවය පිළිබඳ කිසිදු සැකයක් නොවීය. එහෙත් ඉතිහාසය ඔහුව වඩාත් මතක තබා ගනු ඇත්තේ දේශපාලනය තෝරා ගැනීම පහසු මාවතක් වූ මොහොතක පවා විද්‍යාව අත්හැරීම ප්‍රතික්ෂේප කළ දේශපාලනඥයකු ලෙසය.
ඔහු පාර්ලිමේන්තුවට පිවිස පසුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරයට පත්වන විට ශ්‍රී ලංකාවේ විද්‍යා පද්ධතිය විසිරී තිබුණි. ඒ සඳහා ප්‍රතිපාදන මදි වූ අතර ජාතික සංවර්ධනය සමග එහි සම්බන්ධයක් නොතිබුණි. පර්යේෂණ ආයතන හුදකලාව ක්‍රියාත්මක විය; විශ්වවිද්‍යාල සහ කර්මාන්ත අතර සහයෝගිතාවය අවම විය. මහාචාර්ය විතාරණ මෙම යථාර්ථය පැහැදිලිව හඳුනා ගත් අතර එය වෙනස් කළ නොහැක්කක් ලෙස පිළිගැනීමට ඔහු සූදානම් නොවීය.
ක්‍රමානුකූලව සිතීමේ ධෛර්යය
ඔහුගේ වඩාත්ම වැදගත් දායකත්වයක් වූයේ විද්‍යාව හුදකලාව දියුණු කළ නොහැකි බවට ඔහු කළ අවධාරණයයි. ඒ සඳහා උපාය මාර්ග, සම්බන්ධීකරණය, ආයතන සහ සියල්ලටම වඩා දේශපාලන කැමැත්ත අවශ්‍ය විය.
ඔහුගේ නායකත්වය සහ දිරිගැන්වීම යටතේ ශ්‍රී ලංකාව ජාතික නැනෝ තාක්ෂණ මුලපිරීම (NNI) ආරම්භ කළේය. යුද්ධයක් සහ දැඩි මූල්‍ය බාධාවන් මධ්‍යයේ ගත් මෙය ඉතා එඩිතර තීරණයක් විය. විසිරී ඇති සීමිත විද්‍යාත්මක සම්පත් තනි උපායමාර්ගික වේදිකාවකට ඒකරාශී කර, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් හරහා කර්මාන්ත අවශ්‍යතා සමග සමපාත කිරීම එහි අරමුණ විය.
මෙම දැක්ම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) පිහිටුවීමට හේතු විය. SLINTECහි මුල්කාලීන සාර්ථකත්වයන් “ඇමෙරිකානු පේටන්’ බලපත්‍ර, ජාත්‍යන්තර පිළිගැනීම සහ පෞද්ගලික අංශයේ විශ්වාසය වර්ධනය වීම “එම ආකෘතියේ නිවැරදි බව සනාථ කළා පමණක් නොව මිනිසුන්ගේ චින්තනය ද වෙනස් කළේය. තරුණ විද්‍යාඥයන් මෙරට රැඳී සිටීමට එය හේතුවක් විය.
සටන් පාඨවලට වඩා උපාය මාර්ග වැදගත්ය
හුදකලා සාර්ථක කතාන්දරවලින් පමණක් මහාචාර්ය විතාරණ කිසිවිටෙකත් තෘප්තිමත් නොවීය. ජාතික රාමුවක් නොමැතිව නවෝත්පාදනය තිරසාර නොවන බව ඔහු තේරුම් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2010 දී කැබිනට් අනුමැතිය ලැබූ ශ්‍රී ලංකාවේ පළමු ජාතික විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන (STI) උපාය මාර්ගය සැකසීමට ඔහු මූලික විය.
මෙම උපාය මාර්ගය ක්‍රියාවට නැංවීම සඳහා ඔහු විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (COSTI) පිහිටුවීමට සහාය විය. නිලධාරිවාදී බාධාවන් සහ දේශපාලන කැළඹීම් මධ්‍යයේ වුවද COSTI ඉදිරියට ගිය අතර පසුව එය පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථිර කරන ලද ජාතික නවෝත්පාදන ආයතනය (NIA) බවට පත් විය.
නැනෝ තාක්ෂණයේ සිට ජෛව තාක්ෂණය දක්වා
මහාචාර්ය විතාරණගේ ක්‍රමානුකූල චින්තනය නැනෝ තාක්ෂණයෙන් නතර නොවීය. ශ්‍රී ලංකාවේ ජීව විද්‍යාත්මක සම්පත් සහ විද්‍යාත්මක දක්ෂතා උපයෝගී කර ගැනීම සඳහා ජෛව තාක්ෂණය උපායමාර්ගික ජාතික හැකියාවක් ලෙස භාවිතා කිරීමට ඔහු අපව දිරිමත් කළේය. මේ අනුව, ඔහු ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (SLIBTEC) සංකල්පගත කළේය.
ගමට තාක්ෂණය: ඔහුගේ දේශපාලනයේ සදාචාරාත්මක හරය
ඔහුගේ බොහෝ ජයග්‍රහණ අතරින්, මහාචාර්ය විතාරණ වඩාත් උද්‍යෝගයෙන් කතා කළේ විදාතා (Vidatha) වැඩසටහන පිළිබඳවය. මෙය උසස් විද්‍යාගාර හෝ ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර ගැන නොව, තාක්ෂණය ගමට ගෙනයෑම සහ සුළු පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වීම පිළිබඳ වූවකි. විද්‍යාව සාමාන්‍ය මිනිසාගේ එදිනෙදා ජීවිතයට ස්පර්ශ විය යුතු බවත්, එය නාගරික ප්‍රභූ පැලැන්තියට පමණක් සීමා නොවිය යුතු බවත් ඔහු විශ්වාස කළේය.
විද්‍යාවේ ගුණාත්මකභාවය සහ විශ්වාසය
විද්‍යාව කෙරෙහි මහජන විශ්වාසය දිනාගත යුතු බව ඔහු දැඩිව විශ්වාස කළේය. ගුණාත්මක සහතිකය පිළිබඳ ප්‍රතිපත්ති ජනප්‍රිය වීමට බොහෝ කලකට පෙර, වෛද්‍ය සහ පරීක්ෂණ විද්‍යාගාර සඳහා ප්‍රතීතනය (Accreditation) හඳුන්වා දීමට ඔහු ගත් දැඩි උත්සාහය මට මතකය. මෙය ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) පිහිටුවීමට මග පෑදූ අතර එමගින් මෙරට විද්‍යාත්මක හා තාක්ෂණික සේවාවන්හි විශ්වාසනීයත්වය තහවුරු විය.
ඉටු නොවූ සිහින
අපගේ සමහර පොදු සිහින සැබෑ වූයේ නැත. පරම්පරා ගණනාවක් පුරා විද්‍යාත්මක සාක්ෂරතාවය ඇති කළ හැකි ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් පිහිටුවීමට අප සැලසුම් කළද, දේශපාලන වෙනස්කම් සහ නිලධාරිවාදී බාධාවන් හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. මහාචාර්ය විතාරණ එවැනි බලාපොරොත්තු සුන්වීම් උපේක්ෂාවෙන් දරා ගත්තේය.
මඟපෙන්වන්නෙකු ලෙස ඔහුගේ භූමිකාව
පුද්ගලික මට්ටමින් ගත් කල, මහාචාර්ය විතාරණ මට වටිනා දෙයක් ලබා දුන්නේය: ඒ බුද්ධිමය නිදහසයි. ඔහු මිනිසුන් විශ්වාස කළ අතර වගකීම් පවරා දී ඔවුන්ව පාලනය කිරීමට උත්සාහ කළේ නැත. නිලධාරිවාදයෙන් බාධා පැමිණි විට, ඔහු පවුරක් මෙන් සිට අන් අයට වැඩ කිරීමට අවශ්‍ය පසුබිම සකසා දුන්නේය.
ඔහු විද්‍යාවට වඩා දේශපාලනයට ආදරය කළ අවස්ථා තිබූ අතර එය මට ඇතැම් විට පීඩාවක් විය. අප අතර දෘෂ්ටිමය එකඟ නොවීම් තිබුණි. එහෙත් එම විවාදයන් සෑමවිටම ගෞරවනීය වූ අතර ඒවා අපගේ මිතුදමට බාධාවක් නොවීය.
නොමියෙන උරුමය
අද SLINTEC” COSTI$NIA, SLIBTEC සහ SLAB වැනි ආයතන හුදු සංවිධාන පමණක් නොව, ඒවා ශ්‍රී ලංකාවට උපායමාර්ගිකව සිතිය හැකි බවටත්, එඩිතරව ක්‍රියා කළ හැකි බවටත් පවතින සාක්ෂි වේ.
ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන්ට, තාක්ෂණවේදීන්ට සහ ව්‍යවසායකයන්ට නිසි සහයෝගය සහ විශ්වාසය ලබා දෙන්නේ නම් ඔවුන්ට විශිෂ්ට දේවල් කළ හැකි බව පරම්පරාවකට ඒත්තු ගැන්වීම මහාචාර්ය විතාරණගේ ශ්‍රේෂ්ඨතම උරුමයයි.
ඔහුගේ මඟපෙන්වීම, සහයෝගය මෙන්ම අප අතර තිබූ වාදවිවාද සහ ශ්‍රී ලංකාවට මීට වඩා හොඳ දෙයක් කළ හැකිය යන පොදු බලාපොරොත්තුව මට දැඩිව දැනෙනු ඇත.
ඔහුගේ සංසාර ගමන කෙටි වේවා! ඔහු මහත් කැපවීමෙන් සේවය කළ ජාතිය, ඔහු දැමූ පදනම මත නැඟී සිටීමටත් එය ආරක්ෂා කිරීමටත් වගබලා ගනීවා!
සිරිමලී ප්‍රනාන්දු
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාගේ
හිටපු විද්‍යා උපදේශිකා
හිටපු සභාපති – ජාතික විද්‍යා පදනම
SLINTEC සහ SLAB
වත්මන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික – SLIBTEC
ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
තිස්ස සහෝදරයා…
තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, ගාමිණි ලොකුගේ, දයාරත්න රණේපුර හා දයා සෝමසිරි අතීත හමුවක.
අපේ තරුණ කාලයේ දොස්තර තිස්සලා දෙන්නෙක් ගැන දේශපාලන ක්ෂේත්‍රයෙහි කතාබස් කෙරිණි. ඒ දොස්තර තිස්ස සහ දොස්තර තිස්ස පීරිස් ය. දොස්තර තිස්ස යනු රෝහණ විජේවීර වෙනුවෙන් යොදා ගෙන තිබූ අන්වර්ථ නාමයකි.
තිස්ස පීරිස් අප හඳුනා ගත්තේ ලංකා සමසමාජ පක්‍ෂයේ අධ්‍යාපන කඳවුරු හා දේශපාලන පන්තිවල දේශන පැවැත්වීමට ඉදිරිපත් වූ අයෙක් ලෙසය. වාමාංශික දේශපාලනඥයන්ගෙන් පළිගැනීම එකල සාමාන්‍ය දෙයක් බැවින් එම පළිගැනීම්වලින් බේරීම සඳහා දොස්තර තිස්ස විතාරණ යන නම වෙනුවට එකල ඔහු තිස්ස පීරිස් ලෙස පෙනී සිට ඇති බව පසුව දැන ගත්තෙමි.
ලංකා සම සමාජ පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයද නියෝජනය කරමින් කරන ලද මෙහෙය නිසා පාර්ලිමේන්තුව නියෝජනය කිරීඹටද ඔහුට අවස්ථාවලැබිණි. විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයා ලෙස පත්වූ තිස්ස සහෝදරයා විදාතා වැඩපිළිවෙළ ආරම්භ කිරීමස තුළින් රටපුරා පවුල්වල ආදායම් මාර්ග වැඩිදියුණු කර ගැනීම සඳහා මහත් ශක්තියක් ලබා දුන්නේය.
බොරැල්ල වසංගත රෝග පර්යේෂණ ආයතනයෙහි ප්‍රධානියා ලෙසින් ක්‍රියාකළ තිස්ස සහෝදරයා ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි උප සභාපතිවරයා ලෙසද ක්‍රියාකර ඇත. වයිරස් රෝග සම්බන්ධයෙන් විශේෂඥ දැනුමකින් හෙබි ඔහු බොහෝ රටවල ඩෙංගු වැනි රෝග පැතිරී යන ආකාරය සම්බන්ධයෙන් කළ හෙළිදරව් නිසා ඔහුගේ මෙහෙය පොදුජන ගෞරවයට හේතු වුණේය.
දිවංගත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
දයා සෝමසිරි
(‘ඉන්ද්‍රඛීලය’ – ජනප්‍රිය ජයසිංහ ලියූ ග්‍රන්ථයේ පසුවදනකි.)







