BREAKING NEWS
Search

නීතියට වඩා මනුෂ්‍යත්වය වටින බව ලොවටම කියාදුන් “රේචල් සහ මයිලෝ”ගේ සංවේදී කතාව

510

රේචල් කියන්නේ සත්ත්ව උද්‍යානයක සේවය කරපු සාමාන්‍ය Zookeeper කෙනෙක්. එයාගේ දින චර්යාවේ ප්‍රධානම රාජකාරිය වුණේ “මයිලෝ” (Milo) නම් වයසක වලසා දිහා බලාගෙන ඉන්න එක. හැබැයි ඒ බැල්ම සාමාන්‍ය එකක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ කොන්ක්‍රීට් පොළවටයි, යකඩ කූරු වලටයි මැදි වෙලා හිටපු මයිලෝ එන්න එන්නම දුර්වල වෙන හැටි රේචල් බලාගෙන හිටියේ හරිම වේදනාවෙන්.
මයිලෝට දැන් වයසයි. තරුණ කාලේ තිබුණ ශක්තිය දැන් එයාට නෑ. එයාගේ ඇඟේ තියෙන ආතරයිටිස් (Arthritis) තත්ත්වය නිසා ඒ හයිය කොන්ක්‍රීට් පොළව එයාට වධයක් වෙලයි තිබුණේ. සීතල දවස්වලට නැගිට ගන්න එකත් මයිලෝට යුද්ධයක් වගේ වුණා.
රේචල් මේ හැම දෙයක්ම දැක්කා.

මයිලෝ නැගිටින්න කොච්චර වෙලාවක් ගන්නවද, එයා එක පැත්තකට බර වෙලා අමාරුවෙන් ඇවිදින හැටි, නින්ද කියන්නේ එයාට දැන් විවේකයක් නෙවෙයි “වේදනාවෙන් පැනලා යාමක්” විතරයි කියන එක… රේචල් මේ ඔක්කොම සටහන් කරගත්තා. Reports ලිව්වා. බෙහෙත් දෙන්න, ප්‍රතිකාර කරන්න මැදිහත් වෙන්න කියලා පශු වෛද්‍යවරුන්ගෙන් (Veterinarians) ඉල්ලුවා.
ඒත් හැමදාම ලැබුණේ එකම උත්තරයක්.
“දැනට හදිස්සියක් නෑ.”
“අවශ්‍ය නෑ.”
“Budget එකේ සල්ලි නෑ.”
පාලක මණ්ඩලය කිව්වේ ඒක තමයි එයාලගේ “Policy” (ප්‍රතිපත්තිය) එක කියලා.
ඒත් රේචල් දැනගෙන හිටියා Policy එකයි, නොසලකා හැරීමයි (Neglect) කියන්නේ දෙකක් කියලා. 😡
ඉතින් ඇය තීරණයක් ගත්තා. බොහොම පරිස්සමට.
ඇය මයිලෝගේ වීඩියෝ, ෆොටෝස් එකතු කළා. පිටත ඉන්න විශේෂඥයින්ව සම්බන්ධ කරගත්තා. වයසක සත්තුන්ව බලාගන්න පහසුකම් තියෙන අභයභූමියක් (Sanctuary) හොයාගත්තා. ඒ වගේම සතෙක්ව හොරෙන් අරන් ගියාම නීතියෙන් තමන්ට වෙන්න පුළුවන් දේ ගැනත් ඇය හොඳටම දැනුවත්ව හිටියා.
එදා රෑ රේචල් වැඩ මුරයේ හිටියේ. කාටත් නොදැනෙන්න ඇය මයිලෝව සිහි නැති කළා (Sedated). වෙනදා වගේම ආදරෙන් එයාට කතා කළා. ඊටපස්සේ සතාව ගෙනියන්න පුළුවන් ආරක්ෂිත පෙට්ටියක දාගෙන, ට්‍රක් එකක පටවාගෙන රේචල් රියදුරු අසුනට ගොඩ වුණා.

ප්‍රාන්ත හයක් (Six states)!
කිසිම විවේකයක් නෑ. පාර මාරු වුණේ නෑ. ආපසු හැරීමක් නෑ. පහුවදා උදේ වෙද්දී මයිලෝ හිටියේ නිදහසේ!
හැබැයි ප්‍රශ්න පත්තරේ පටන් ගත්තේ ඊට පස්සේ.
රේචල්ගේ රස්සාව නැති වුණා. ඇයට විරුද්ධව “Grand theft” (මහා පරිමාණ සොරකම්) යටතේ නඩු පැවරුවා. පුවත්පත්වල ඇයව හැඳින්වූයේ “සත්තු වත්තේ දේපළ හොරකම් කළ පිස්සු ගැහැණියක්” විදියට.
ඒත් උසාවිය ඇතුළේදී කතාව වෙනස් වුණා.
Sanctuary එකේ වෛද්‍යවරු සාක්ෂි දුන්නා. මයිලෝ අවුරුදු ගාණක් තිස්සේ විඳපු වේදනාව, ප්‍රතිකාර නොලැබීම සහ නොසලකා හැරීම ගැන ඔවුන් සාක්ෂි සහිතව ඔප්පු කළා. හරි නම් මයිලෝට ලැබෙන්න තිබුණේ මොන වගේ ආදරයක්ද සහ පහසුකම්ද කියලා ඔවුන් ලෝකෙටම පෙන්නුවා.
මිනිස්සුන්ගේ මතය වෙනස් වුණා. “ඇයි රේචල් නීතිය කැඩුවේ?” කියලා අහපු මිනිස්සු “ඇයි නීතියෙන් මේ අහිංසක සතාව ආරක්ෂා කළේ නැත්තේ?” කියලා ප්‍රශ්න කරන්න ගත්තා. පරීක්ෂණ කණ්ඩායම් සත්තු වත්තේ වාර්තා පීරන්න පටන් ගත්තා.
අන්තිමේදී රේචල්ට හිරේ යන්න වුණේ නෑ. ඇයට ලැබුණේ පරිවාස කාලයක් (Probation) විතරයි. හැබැයි සත්ත්ව උද්‍යානයට එරෙහිව පරීක්ෂණ පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි, කිසිම දැනුම්දීමකින් තොරව නිහඬවම තවත් සත්තු තුන් දෙනෙක්වම ඉක්මනින්ම වෙනත් ස්ථානවලට මාරු කළා.
අද මයිලෝ ඉන්නේ අර කොන්ක්‍රීට් කූඩුවේ නෙවෙයි. එයාගේ කකුල්වලට දැන් දැනෙන්නේ තණකොළවල සිනිඳු බව. හිසට ඉහළින් තියෙන්නේ නිදහස් අහස. එයා කැමති වෙලාවට නිදාගන්නවා. දැන් එයා ප්‍රදර්ශන භාණ්ඩයක් නෙවෙයි.

රේචල් දැන් වැඩ කරන්නෙත් ඒ Sanctuary එකේමයි.
පඩිය අඩු ඇති. ලොකු තනතුරු නැතුව ඇති. ඒත් හැමදාම උදේට මයිලෝ එයාටම හිමි නිදහස විඳින හැටි දකිද්දී රේචල්ට දැනෙන සතුට මිල කරන්න බෑ.
ඇය කළේ වලසෙක්ව බේරගත්ත එක විතරක් නෙවෙයි. ඇය මුළු පද්ධතියම වෙනස් කළා. ඇය ඔප්පු කළා සමහර වෙලාවට නිවැරදි දේ කරන්න “අවසරය” (Permission) ලැබෙනකම් බලන් ඉඳලා වැඩක් නෑ කියලා.
ඒකට ඕන කරන්නේ “ධෛර්යය” (Courage) විතරයි! 💪❤️

By Tharanga Gamage.
උපුටාගැනීමකි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!