බොහෝ දෙනෙකුට අලුයම 3 සිට 5 දක්වා කාලය යනු තද නින්දේ පසුවන සාමාන්‍ය රාත්‍රී කාලයක් පමණක් වුවද, පෞරාණික ප්‍රඥාවට හා ආධ්‍යාත්මික විද්‍යාවට අනුව මෙය දවසේ පවතින අතිශය බලගතුම කාල පරාසයයි. මෙම කාලය සාමාන්‍ය නින්දකට යට කර දමනවාට වඩා, එය ඔබේ ආත්මීය පිබිදීම සහ ලෞකික ජයග්‍රහණ වෙනුවෙන් ආයෝජනය කළ හැකි රන්වන් අවස්ථාවකි. මෙම නිශ්ශබ්ද හෝරා දෙක තුළ ඔබේ මනස, ශරීරය සහ විශ්වය අතර පවතින්නේ පුදුමාකාර සම්බන්ධතාවයකි. මුළු ලෝකයම නිහඬව පවතින විට අවදි වී සිටීමෙන් ඔබට ඔබේ අභ්‍යන්තර හඬට සවන් දීමටත්, දවස සාර්ථක කර ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනඟා ගැනීමටත් හැකි වේ.
මෙම සුවිශේෂී කාල පරාසය ආයුර්වේදය සහ යෝග දර්ශනය තුළ හඳුන්වනු ලබන්නේ බ්‍රහ්ම මුහුර්තය ලෙසයි. මෙය සරලව අර්ථකථනය කරන්නේ නම් “නිර්මාපකයාගේ හෝරාව” ලෙස හැඳින්විය හැකිය. තාක්ෂණිකව ගත් කල හිරු උදාවීමට පැය 1යි විනාඩි 36කට පෙර ආරම්භ වී හිරු උදාවට විනාඩි 48කට පෙර අවසන් වන මෙම කාලය දළ වශයෙන් අලුයම 3:30 සිට 5:30 දක්වා පවතී. මෙම කාලය තුළ පරිසරයේ සහ විශ්වයේ පවතින ශක්තිය හෙවත් ප්‍රාණ ශක්තිය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, එම ශක්තිය උරා ගැනීමට මිනිස් මනසට සහ ශරීරයට ඇත්තේ ඉහළ හැකියාවකි. ඔබේ මනස දවස පුරා පවතින කලබලකාරී ස්වභාවයෙන් මිදී ඉතාමත්ම පිරිසිදු, නිශ්චල සහ ධාරණ ශක්තියෙන් ඉහළ මට්ටමකට පත්වන්නේ මෙම යාමයේදීය.
විද්‍යාත්මකව සහ මනෝවිද්‍යාත්මකව බලන විට මෙම කාලයේදී අපගේ මනස මනෝභාව හෙවත් උපවිඥානය සමඟ ඉතා සමීපව කටයුතු කරයි. දිවා කාලයේදී අපගේ මොළය තර්කානුකූලව සහ වේගවත්ව ක්‍රියා කළද, අලුයම අවදි වන විට මොළය පවතින්නේ ගැඹුරු ඉහිල් තත්ත්වයකයි. මෙම තත්ත්වය තුළ ඔබ සිතන ඕනෑම සිතුවිල්ලක් හෝ ප්‍රාර්ථනාවක් ඉතා පහසුවෙන් ඔබේ යටි සිත තුළ තැන්පත් වේ. ඔබ ඔබේ ජීවිතයට සතුට, ධනය, නිරෝගීකම හෝ සාර්ථකත්වය අපේක්ෂා කරන්නේ නම්, එය දැනටමත් ලැබී ඇතැයි සිතින් මවා ගැනීමටත්, ඒ පිළිබඳව ධනාත්මක ආකල්ප ඇති කර ගැනීමටත් සුදුසුම කාලය මෙයයි. මෙම කාලයේදී ඇති කරගන්නා අරමුණු බීජයක් ලෙස යටි සිතේ රෝපණය වන අතර එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට විශ්වීය ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක වීමට පටන් ගනී.
ඇතැම් විට ඔබට අනතුරු ඇඟවීමකින් තොරව අලුයම 3ට පමණ නින්දෙන් ඇහැරෙන අවස්ථා තිබිය හැකිය. මෙවැනි අවස්ථාවලදී බොහෝ දෙනා බියට පත්වීම හෝ නැවත බලෙන්ම නින්දට යාමට උත්සාහ කිරීම සාමාන්‍ය ස්වභාවයයි. නමුත් සත්‍ය වශයෙන්ම එය විශ්වය විසින් ඔබට ලබා දෙන පණිවිඩයක් විය හැකිය. එවැනි මොහොතක කලබල නොවී, ඔරලෝසුව දෙස නොබලා සන්සුන්ව සිටීම වැදගත්ය. මෙය නින්ද අහිමි වීමක් නොව, ඔබේ ආත්මය උසස් තලයකට පිවිසීමට සූදානම් බවට ලැබෙන සංඥාවකි. එවිට කළ යුත්තේ ඇඳේ පෙරළෙමින් සිටීම නොව, සෙමින් ඇඳෙන් නැගිට දෑස් පියාගෙන ගැඹුරු හුස්ම ගැනීමේ අභ්‍යාසයක හෝ නිහඬ භාවනාවක නිරත වීමයි.
මෙම වටිනා කාලය ඵලදායීව භාවිතා කිරීමට නම් නිවැරදි දින චර්යාවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. අවදි වූ වහාම ඇඳෙන් බැස මුහුණ කට සෝදා පිරිසිදු වීමෙන් නින්දේ අලස බව දුරු කර ගත හැකිය. ඉන්පසු ජලය වීදුරුවක් පානය කිරීමෙන් ශරීරය අභ්‍යන්තරව අවදි කර සජලනය කළ යුතුය. අනතුරුව ඔබට පුළුවන් විනාඩි කිහිපයක් භාවනා කිරීමට හෝ ඔබේ ආගමික වතාවත්වල නිරත වීමට. පරිසරයේ ඇති නිශ්ශබ්දතාවය නිසා ඔබේ සිත ඉක්මනින් සමාධිගත කර ගැනීමට හැකි වන අතර සිතුවිලි පාලනය කිරීම පහසු වේ. ඉන්පසුව දවස සැලසුම් කිරීම, කෘතඥතා පූර්වක වීම සහ ජීවිතයේ ඔබට ලැබී ඇති දේවල් ගැන සතුටු වීම තුළින් දවස ඉතා ධනාත්මකව ආරම්භ කිරීමට හැකි වනු ඇත.
බ්‍රහ්ම මුහුර්තයේ අවදි වීම සාර්ථක කර ගැනීමට නම් ඊට පෙර දින රාත්‍රියේ සූදානම ඉතා වැදගත්ය. ඔබට අලුයම 4ට අවදි වීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම රාත්‍රී 9 පමණ වන විට නින්දට යා යුතුය. මන්ද ශරීරයට අවශ්‍ය පැය 7ක හෝ 8ක සුවපහසු නින්ද නොලැබුණහොත් මෙම පුරුද්ද සෞඛ්‍යයට අහිතකර විය හැකි බැවිනි. නින්දට යාමට පැයකට පමණ පෙර ජංගම දුරකථන සහ රූපවාහිනී තිරවලින් ඈත් වීම, සැහැල්ලු පොතක් කියවීම හෝ සන්සුන් සංගීතයකට සවන් දීම මගින් ගැඹුරු නින්දක් ලබා ගත හැකිය. මුලදී මෙම වේලාවට අවදි වීම අපහසු විය හැකි නමුත්, දින 21ක් පුරා එක දිගට මෙම පුරුද්ද පවත්වාගෙන ගියහොත් එය ඔබේ ජීවන රටාවේම කොටසක් බවට පත්වනු ඇත. මෙම වෙනස තුළින් ඔබට පෙර නොවූ විරූ මානසික පැහැදිලිකමක්, ශක්තියක් සහ ජීවිතය ජය ගැනීමේ විශ්වාසයක් ගොඩනැගෙනු ඇත.
උපුටාගැනීම – විශ්ව කර්ම







