BREAKING NEWS
Search

ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාව 93යි

321

 

 

 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 සංගණන දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ ‘පුමිතිරි අනුපාතය‘ 93.3ක් ලෙසින් වාර්තා වේ.

‘පුමිතිරි අනුපාතය‘ (ස්ත්‍රී පුරුෂ අනුපාතය) යනු සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාවයි.

එය වැදගත් ජනවිකාශ දර්ශකයකි. පුමිතිරි අනුපාතය සමාජ හා ආර්ථික අංශ කෙරෙහි සහ දිගු කාලීන ජනගහන ස්ථාවරත්වයට බලපාන සාධකයක් වේ.

ඒ අනුව, පුමිතිරි අනුපාතය 100ට වැඩි වන විට පුරුෂ සංඛ්‍යාව ස්ත්‍රී සංඛ්‍යාව අභිබවා යාමක් හා 100ට අඩුවන විට ස්ත්‍රී සංඛ්‍යාව පුරුෂ සංඛ්‍යාව අභිබවා යාමක් පෙන්නුම් කෙරේ.

2012 සංගණනයේ දී වාර්තා වූ පුමිතිරි අනුපාතය 93.8ක් වන අතර, 2024 සංගණනයේ දී වාර්තා වන පුමිතිරි අනුපාතය 93.3කි.

ඒ අනුව 2012 සංගණනයේ සිට 2024 සංගණනය දක්වා ප්‍රතිශත ඒකක 0.5ක අඩුවීමක් පෙන්නුම් කරයි.

කෙසේවෙතත් මෙවර සංගණනයේ දී වයස් කාණ්ඩ අනුව පුමිතිරි අනුපාතය සැලකූ විට වයස අවුරුදු 0 සිට අවුරුදු 19 අතර ඇති වයස් කාණ්ඩවල පුමිතිරි අනුපාතය 100ට වඩා ඉහළ අගයන් ගන්නා බව පෙනී යයි.

එසේ වුවද, අවුරුදු 40ට වැඩි සියලුම වයස් කාණ්ඩ සඳහා, එනම් වයස්ගත වීමත් සමඟ පුමිතිරි අනුපාතය ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් පෙන්නුම් කරයි.

විශේෂයෙන් වයස අවුරුදු 70 හා ඊට වැඩි වයස් කාණ්ඩය, අඩුම පුමිතිරි අනුපාතිය වන 69.8ක අගය පෙන්නුම් කරයි.

මෙවර සංගණනයේ දී 97.9ක වැඩිම පුමිතිරි අනුපාතයක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් පෙන්නුම් කරන අතර, දෙවනුව වැඩි අගයයක් එනම් 97.3ක් මන්නාරම දිස්ත්‍රික්කයෙන් පෙන්නුම් කරයි.

එමෙන්ම අඩුම පුමිතිරි අනුපාතය වාර්තා වන්නේ නැගෙනහිර මඩකළපුව දිස්ත්‍රික්කයෙන් වන අතර එය 88.0ක් වේ.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!