අද ඔවුන්ට විශේෂ වුණු දවසක්.. මොකක්ද ඒ විශේෂත්වය කියලා මේ වෙනකොටත් හැමෝම දන්නවා නේ..
ලෝක වමත්කරුවන්ගේ දිනය.. මේ අන්න ඒ විශේෂ දවස ගැන පළවුණු සටහනක්..
කුඩා දරුවාගේ සිටම විශ්මයෙන් වමත්කරුවාව දකියි. ඔවුන්ටම විශේෂ වුණු දිනය අගෝස්තු 13 වන දිනයි. එනම් අද දිනයි. සාමාන්‍යයෙන් මිනිසුන්ගෙන් 60%ක් වැඩිපුර සවන් දෙන්නේ තමන්ගේ වම් කනින්, 30%ක් වැඩිපුර බලන්නේ වම් ඇහින්, 20%ක් වැඩිපුර භාවිත කරන්නේ වම් කකුලින් වූ නමුත් වම් අත භාවිත කරන්නේ 10%ක් වැනි සුළු පිරිසකි.
වමත්කරුවන්ගේ දිනය වෙනුවෙන් ඒ පිළිබඳව සාකච්ඡා කරමු.
දකුණත් සහ වමත් බෙදීම ආදි මානවයා දක්වාම දිව යයි. පරිණාමවාදයට සාක්ෂියක් ලෙසත් මෙය පෙන්වා දිය හැකි අතර චිම්පන්සියන් ආශ්‍රයෙන් සිදුකරන ලද පරීක්ෂණවල එම සතුන්ට ද විශේෂයෙන් පුරුදු, පුහුණු වුණූ අතක් තිබෙන බව සොයාගෙන ඇති නමුත් විශේෂ අතක් තිබුණ ද එය දකුණත හෝ වමත ලෙස වෙන් කිරීමට නොහැක. එයට හේතුව වන්නේ අත් දෙකම 50% බැගින් භාවිත කිරීමයි. එසේ නම් දකුණතට වැඩි බරක් දෙන මානවයන් ඇතිවීම ආරම්භ වෙන්නේ ඊට පසු අවධියක බව විද්‍යාඥයන් අවබෝධ කරගෙන තිබේ.
දීර්ඝ කාලීන පර්යේෂණවලින් මේ වනවිට ඔවුන් සොයාගෙන තිබෙන්නේ මෙම වමත් දකුණත් බේදය නියෙන්ඩතාල් ආදි මානවයා සමග ගැළපෙන බවයි. නියෙන්ඩතාල්වරුන් මස් ආහාරයට ගන්නා විට එක් අතකින් මස් කුට්ටිය අල්ලාගෙන අනෙක් අතින් ආයුධය ගෙන එම මස් ඉරා ගැනීමට කටයුතු කර ඇති බවත්, නියෙන්ඩතාල් ශේෂයන් පරීක්ෂා කරන විට පෙනී යන වැදගත්ම කරුණ වන්නේ ආයුධය වැඩි වශයෙන් භාවිත කර ඇත්තේ හුරු අතින් වන බවයි. එනම් දකුණින් බවයි. ඒ අනුව දකුණත් භාවිතය මිනිසාගේ ජානමය ගති ලක්ෂණයක් බව තහවුරු වේ.
ලෝක වමත්කරුවන්ගේ දිනය ජාත්‍යන්තර දිනවල විශේෂ දිනයක් ලෙස සැලකේ.
වමත්කරුවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විද්‍යාඥයන් අතර දීර්ඝ කාලීන විවාදයක් පවතින අතර ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි මනෝවිද්‍යාඥ ක්‍රිස් මැක්මැනුස් විසින් “Right Hand Left Hand” කෘතියෙන් දක්වන ආකාරයට වමත්කරුවන්ගේ මොළය අනෙකාට වඩා සංවර්ධිත වන අතර, ඔවුන් වඩාත් දක්ෂ ලෙස දැක් වේ. නමුත් ඔවුන්ගේ සංඛ්‍යාත්මක ප්‍රමාණය ඉතා අඩු ලෙස දැක් වේ. අප ද කුඩා කාලයේ සිටම වමතින් ලියන්නවුන් දෙස විශ්මයෙන් බලති. ඔවුන්ගේ අත් අකුරු වඩා ලස්සන යැයි විශ්වාස කරති.
සියල්ලන්ම මවිතයෙන් දකින වමත්කරුවන් ගැන විවිධ අදහස් තිබේ. සමහරෙක් ඔවුන් විශේෂ කරන අතර සමහරෙක් ඔවුන් ද සාමාන්‍ය පුද්ගලයන් බව පවසති. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සංවර්ධන ස්නායු මනෝවිද්‍යා මහාචාර්ය ඩොරිති බිෂෝප් ද වමත්කාරියක් වේ. නමුත් තමන් කිසිවිටෙක අනෙක් අයට වඩා විශේෂ දක්ෂතාවකින් යුතු කෙනෙක් ලෙස ඇයට නොවැටහෙන බව ඇයම පැවැසීම විශේෂත්වයකි.
තවත් විවාදාත්මක විද්‍යා මතවාද රාශියක් වමත්කරුවන් ගැන සටහන් වේ. සාමාන්‍යයෙන් දකුණත් කරුවන්ට වඩා අවුරුදු නවයකින් වමත්කරුවන්ගේ ආයු කාලය අඩු බව, නිවුන් දරුවන් අතර වමත්කරුවන් සම්භාවිතාව සාමාන්‍ය අගයට වඩා දෙගුණයක් වැඩි බව, වමත්කරුවන් බොහෝ විට මායාකරුවන්, සමලිංගිකයන්, සාප ලද්දන්, කැරලිකාරීන්, විප්ලවවාදීන් ලෙස සැලකූ අවස්ථා වුව ද ඉතිහාසය තුළ දකින්නට හැකිය. මෙවැනි උඩු යටිකුරු අදහස් වමත්කරුවන් පිළිබඳව පවතී.
1976 අගෝස්තු 13 වැනිදා ප්‍රථමයෙන්ම ‘ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය’ වශයෙන් නම් කොට ඇත. එදා සිට අද දක්වාම මෙය ලෝකය පුරාවටම සමරන සුවිශේෂී දිනයකි.
ආගමික සම්බන්ධය දෙස බැලීමේදී, ක්‍රිස්තියානු දහම තුළ දැක්වෙන ආකාරයට දෙවියන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි මයිකල් දේව දූතයා දෙවියන් වහන්සේට දකුණු පසින් සිටි නිසා දෙවියන් වහන්සේට විරුද්ධ වූ සාතාන්ගේ ප්‍රධාන දූතයා වූ සැමුවෙල් වම් පසින් සිටි බවත් දැක්වෙන නිසා ආගමික සාහිත්‍ය තුළ වම් පස පාපකාරී ස්වභාවයක් නිරූපණය කෙරේ.
බුදුදහම තුළ ද දාගැබ් වන්දනාව, බෝධි වන්දනාව සිදු කිරීමේදී වම් අත බෝධිය හෝ දාගැබ දෙසට සිටින ලෙස පැදකුණු නොකරන ලෙස පවසයි.
කෙසේ වුව ද වමත්කරුවන් ලෝකය පුරාම විශේෂ වී හමාරය. ක්‍රිකට් ක්‍රීඩාවේ ද වමත් පිතිකරුවන් සහ වමත් පන්දු යවන්නන් විශේෂ වේ. මැහුම් ගෙතුම් කලාව, සංගීත කලාව ආදී කලාවන් තුළ ද වමතට හුරු වූවන් පුදුමාකාර ගුණයෙන් සැලකීම සමාජය තුළ සාමාන්‍යකරණය වී ඇත. ලෝකය තුළ ඉහළින් සමරන සුවිශේෂී වමත්කරුවන්ගේ දිනය අද දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් සියලුම වමත්කරුවන් උදෙසා ආසිරි පතමි.
දිවයින පුවත්පත ඇසුරෙන්..