BREAKING NEWS
Search

සංජීව ඝාතනයට ගිනිඅවිය දුන්නේ මෙහෙමයි

3085

 

නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි ඇතුළු 6 දෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා අද දිනයේ රැඳවුම් නියෝග ලබා ගන්නා බව පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුව ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් සදහන් කළේ.

 

මෙහිදී ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙතත් සෙසු පුද්ගලයින් ගංගොඩවිල ඇතුලු අධිකරණ වෙතත් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීමට ද අපේක්ෂිතයි.

මේ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණ කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

 

නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ මහල් නිවාසයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු හය දෙනා ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට රැගෙන ආවා.

මෙලෙස දිවයිනට රැගෙන ආවේ ගනේමුල්ල සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි, එම ඝාතනයෙන් පසු ඇයට මෙරටින් පළා යෑමට සහාය දැක්වු ජැෆ්නා සුරේෂ්, ජේ.කේ.බායි සහ කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ ජාලායට සම්බන්ධ ගම්පහ බබා, නුගේගොඩ බබී සහ තක්ෂි යන හය දෙනායි.

 

දැඩි ආරක්ෂාවක් යටතේ ගුවන් තොටුපලින් පිටතට රැගෙන ආ ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් විමර්ශන කොට්ඨාස තුනක් වෙත යොමු කිරීමට පියවර ගැනුණා.

එහිදී ඉෂාරා සෙව්වන්දි, තක්ෂි, ජැෆ්නා සුරේෂ් සහ ජේ.කේ බායි යන අය වැඩිදුර විමර්ශන සඳහා යොමු කෙරුණේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙතයි.

එසේම නුගේගොඩ බබී නමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙතත් ගම්පහ බබා නමැත්තා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙතත් යොමු කෙරුණා.

අත්අඩංගුවට ගත් ජේ.කේ. බායි සහ ජැෆ්නා සුරේෂ් නැමැත්තා, ගනේමුල්ල සංජීව ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දිට මෙරටින් පළායෑමට සහාය දැක්වු අය වන අතර, ඔවුන් කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ ජාලයට සම්බන්ධ බව ද පොලිසිය සඳහන් කළා.

ජේ.කේ බායි නමැත්තා මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පිටමං කිරීමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධානතම සැකකරුවෙකු වනවා.

 

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින නුගේගොඩ බබී නැමැත්තා ද මනුෂ්‍ය ඝාතනයට සහ කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

2019 වසරේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයකින් අනතුරුව ඩුබායි බලා පළා ගොස් සිටි ඔහු 2024 වසරේදි අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අයෙකු වන බවට ද අනාවරණය වනවා.

ඔහු ලග තිබි මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියක් ද සොයාගෙන තිබු අතර, අදාළ නඩු විභාගවලින් අනතුරුව පසුගිය මැයි මාසයේදී ඔහු මන්නාරමේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා ගොස් දුම්රියෙන් නේපාලයට ගොස් ඇති බවටද හෙළි වුණා.

ගම්පහ බාබා නමැත්තාද කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ ජාලයට සම්බන්ධ අයෙකු බවට හඳුනාගෙන ඇති අතර, වීරගුල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයකට සහ ගම්පහ ඔස්මන් ඝාතන සැලැස්මට ද සම්බන්ධ බවට‍යි හඳුනාගෙන ඇත්තේ.

 

ඔහුද පසුගිය අගෝස්තු මාසයේදී මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගොස් එතැන් සිට දුම්රියෙන් නේපාලයට පලා ගොස් තිබු අතර, මෙම අපරාධකරුවන් සියලු‍ දෙනාට මෙරටින් පළා යෑමට සහාය දක්වා තිබුණේ ජේ.කේ. බායි නැමැත්තායි.

ඒ වෙනුවෙන් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් මොහු කෙහෙල්බද්දර පද්මේ විසින් ලබා දී ඇති බව ද විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

ඉෂාරා සෙව්වන්දි ඇතුළු මෙම සැකකරුවන් හයදෙනා නේපාලයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලු‍ගල ගේ ප්‍රධානත්වයෙන් නේපාලයට ගිය කණ්ඩායමක් එරට පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදීයි.

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ගනේමුල්ල සංජීව ඝාතනය කළ දිනයේදී අධිකරණ භූමියේ සිදුවු සිදුවීමක් සම්බන්ධයෙන්ද පොලිසිය හමුවේ පවසා තිබුණා.

එහිදි ඇය පවසා ඇත්තේ තමා නීතිඥවරියක් ලෙස සැරසී එදින උසාවියට ගොස් ගනේමුල්ල සංජීව රැගෙන එන තෙක් නීතිඥයින් වෙනුවෙන් වෙන් කර තිබු විවේකාගාරයේ රැදී සිටි බවයි.

 

එම අවස්ථාවේදී එහි පැමිණි කාන්තාවක් නඩුවකට පෙනී සිටින ලෙස තමාගෙන් ඉල්ලූ බවද ඇය පවසා තිබුණා.

මේ අතර ගනේමුල්ල සංජීව ඝාතනය සදහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් තුල සගවා රැගෙන ආ ගිනි අවිය වෙඩිකක්රු වූ සමිදු නැමැත්තාට ඉෂාරා සෙව්වන්දි විසින් ලබා දී ඇත්තේ අධිකරණ භූමියේ පඩිපෙළක් මතදී බව අනාවරණය වී තිබෙනවා.

ගිනි අවිය ඉනේ ගසා ගත් සමිදු, ඉෂාරා සෙව්වන්දි සමග අධිකරණ ශාලාවට ගොස් නීතීඥවරුන් අසුන් ගන්නා ස්ථානයේ වාඩි වී තිබෙනවා.

ගනේමුල්ල සංජීව විත්ති කූඩුවට නැගි අවස්ථාවේ දී වෙඩිකකරු විසින් වෙඩි තබා ඇති අතර පසුව ඔවුන් දෙදෙනාම සංජීවට වෙඩි තබනවා යැයි කෑ ගසමින් අධිකරණ භූමියෙන් පිටතට දිව ඇති බවයි ඉෂාරා සෙව්වන්දි විමර්ශන නිළධාරීන්ට පවසා ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *