BREAKING NEWS
Search

නේපාල අර්බුදය විසඳන්නේ මෙහෙමයි – හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

4233

නේපාලයේ කත්මණ්ඩු නුවර තත්ත්වය පිළිබඳව මාධ්‍ය ආයතන කිහිපයක් මගේ අවධානය යොමු කර ඇති අතර ඒ පිළිබඳව විමසා ඇත.

පළමුවෙන්ම, නේපාලයේ සිදුවී ඇති තරුණ ඝාතන ඇතුළු සියලු ආකාරයේ ඝාතන මම හෙළා දකිමි.

ඒ හා සමානව, හිටපු අගමැතිතුමාගේ නිවස ගිනි තැබීම සහ හිටපු අගමැතිතුමාගේ බිරිඳ ඝාතනය කිරීම අතිශයින්ම කණගාටුදායක තත්ත්වයකි. එම ඝාතනය සම්බන්ධයෙන් මම මගේ ශෝකය ප්‍රකාශ කරමි. එසේම, අමාත්‍යවරුන්ට, විශේෂයෙන් විදේශ අමාත්‍යවරයාට එල්ල කරන ලද ප්‍රහාර සිදුවී ඇති ඛේදවාචකයේ තවත් දිගුවකි. කාන්තා අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය විය. එවැනි ක්‍රියා නේපාලයේ කීර්ති නාමයට කැළලක් ඇති කර තිබේ.

කත්මණ්ඩු නුවර තත්ත්වය මෙතරම් දුරදිග නොයා යුතුව තිබුණි. පොලිසිය විසින් සිදු කරන ලද වෙඩි තැබීම පිළිගත නොහැකි ක්‍රියාමාර්ගයකි. පළමු දිනයේදීම වෙඩි තැබීමකින් තොරව ඇති වූ තත්ත්වය පාලනය කළ හැකිව තිබූ බව ආරංචි මාර්ග සඳහන් කළේය.

එවැනි සිදුවීම් සඳහා ඇති හැකියාව ද භයානක තත්ත්වයකි. ගූගල්, ෆේස්බුක් සහ යූ ටියුබ් වැනි ඇමරිකානු හිමිකාරීත්වය දරන සමාජ මාධ්‍ය සමාගම් ලොව පුරා රටවල ආණ්ඩු පෙරලා දැමීමට ලබා දී ඇති අවස්ථාව අවතක්සේරු කළ නොහැකිය.

නේපාලයට දීර්ඝ කාලයක් තිස්සේ ගැටළු ගණනාවක් තිබේ. රජය ඒ පිළිබඳව අවධානය යොමු කළේ නැත. උග්‍ර ගැටළු වලට විසඳුම් සොයා නොගෙන, දකුණු ආසියානු සම්ප්‍රදායට අනුව එදිනෙදා දේශපාලනය කෙරෙහි සියලු දෙනා අවධානය යොමු කළහ. මෙය තරුණ පරම්පරාව අතර දැඩි කලකිරීමට හේතු වී තිබේ. මේ අතර, ඒවාට විසඳුම් නොදී සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හේතුවෙන් අර්බුදය ඇති විය.

පාර්ලිමේන්තුව සහ අධිකරණ ගොඩනැගිලි රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස සලකනු ලබන අතර, ඒවා තුළ සිටින පුද්ගලයින් විසින් ඒවා අර්ථ දක්වා නැත. පාර්ලිමේන්තුව සහ අධිකරණය ගිනි තැබීම නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කරන මහත් අගෞරවයකි.

කෙසේ වෙතත් අවසානයේ ඉතිරි වූයේ ව්‍යවස්ථාවක් නොමැති නේපාලයක් පමණි. රටේ සාමය ස්ථාපිත කිරීම සහ ව්‍යවස්ථාවට අනුව මැතිවරණ පැවැත්වීම බලය භාරගත් හමුදාවේ වගකීමකි.

බුදුන් වහන්සේගේ උපන් ස්ථානය වන නේපාලය ශ්‍රී ලංකාවට අනන්‍ය වූ රටකි. එවැනි රටක මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා ඉවසිය නොහැක. රාජ්‍ය පාලනයේ දී පෙන්නුම් කරන ලද අදක්ෂතාවය ද මෙම තත්ත්වයට හේතු වී ඇතැයි සිතිය හැකිය.

බුදුන් වහන්සේ දේශනා කළේ සමගියෙන් රැස්වෙන්න, සමගියෙන් සාකච්ඡා කරන්න, සමගියෙන් විසිර යන්න කියලයි. නේපාලයේ වත්මන් රජය බුදුන් වහන්සේ දේශනා කළ “සප්ත අපරිහානී ධර්මය” ආදර්ශයට ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

රනිල් වික්‍රමසිංහ
VIII විධායක ජනාධිපති
2025.09.10




Leave a Reply

Your email address will not be published. Required fields are marked *