නාය යාමක් කියන්නේ හිතාගන්නවත් බැරි තරම් වේගයෙන් සිදුවෙන, ජීවිත හා දේපළ විශාල ප්‍රමාණයක් ක්ෂණිකව විනාශ කළ හැකි බරපතල ස්වභාවික විපතක්. විශේෂයෙන්ම අපේ රටේ කඳුකර හා බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අධික වර්ෂාවත් එක්ක මේ අවදානම දැඩිව දැනෙනවා. පස් කඳු කඩා වැටීම, ගල් පෙරළීම සහ මඩ ගලා ඒම වැනි දේවල් මේ අතරතුර සිදුවෙන්න පුළුවන්. මේ නිසා නාය යාමක් සිදුවීමට පෙර එහි මූලික ලක්ෂණ හඳුනා ගැනීමත්, එවැනි අවස්ථාවක ක්ෂණිකව ක්‍රියා කළ යුතු ආකාරයත් කල් තියා දැනගෙන සිටීම අපේත් අපේ පවුලේ අයගේත් ජීවිත බේරාගන්න ලැබෙන ලොකුම පිටිවහලක් වෙනවා.
නාය යාමක් එකපාරටම සිදුවෙන බව පෙනුනත්, බොහෝ විට ඊට පෙර ස්වභාවධර්මය අපිට විවිධ අනතුරු ඇඟවීම් ලබා දෙනවා. අධික වැසි පවතින විට ඔබේ නිවසේ බිත්තිවල, ගෙබිමේ හෝ වත්ත පහළ පොළවේ අලුතින් ඉරිතැලීම් ඇතිවෙලා තියෙනවා නම් ඒ ගැන දැඩි අවධානයක් යොමු කරන්න ඕනෑ. එහෙමත් නැත්නම් දොර ජනෙල් එකපාරටම තද වෙලා ඇරගන්න හෝ වහගන්න බැරි වෙනවා නම් එයින් අදහස් වෙන්නේ පොළවේ සිදුවන වෙනස්වීම් නිසා නිවසේ ව්‍යුහයට බලපෑම් එල්ල වී ඇති බවයි. ඒ වගේම අවට තියෙන විශාල ගස්, විදුලි කණු හෝ වැටවල් එක පැත්තකට ඇලවෙලා වගේ පේනවා නම් එය පස් කන්දේ අස්ථාවර බව පෙන්නුම් කරන ප්‍රධාන ලක්ෂණයක්. මීට අමතරව කන්ද අඩියෙන් මඩ පාටට වතුර ගලාගෙන එනවා නම්, එහෙමත් නැත්නම් කලින් තිබුණු දිය උල්පත් සිඳී ගොස් අලුත් තැන්වලින් වතුර එන්න පටන් අරගෙන නම් වහාම ක්‍රියාත්මක විය යුතුයි. පොළව යටින් ගල් පෙරලෙන වගේ අමුතු ශබ්ද ඇහෙනවා නම් හෝ ගස් අතු එකිනෙක ගැටෙන හඬ අසාමාන්‍ය ලෙස ඇසෙනවා නම් වහාම එතැනින් ඉවත් වීම තමයි නුවණට හුරුම දේ.
යම් හෙයකින් නාය යාමක් පටන් ගත් බව දැනුනොත් හෝ පෙනුනොත් කිසිම වෙලාවක දේපළ බේරාගන්න කාලය නාස්ති කරන්න එපා. ඔබේත් පවුලේ අයගේත් ජීවිතය තමයි වටිනාම දේ. පුළුවන් ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් වී ස්ථිර හා ආරක්ෂිත උස් බිමක් වෙත යන්න. පස් කන්ද ගලාගෙන එන මාර්ගයේ දිව යන්නේ නැතුව, ඊට සමාන්තරව හෝ පැත්තකට වෙන්නට දිව යාමෙන් අනතුර මගහරවා ගන්න පුළුවන්. ඒ වගේම ගඟක් හෝ ඇළක් අසලට යන්න එපා මොකද නාය යාමත් එක්ක ජල මට්ටම හිටි හැටියේම ඉහළ ගොස් ගංවතුර තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් නිසා. හදිස්සියේවත් ඔබට පැනගන්න බැරිව කොටු වුනොත්, ශක්තිමත් ගෘහ භාණ්ඩයක් (මේසයක් වැනි) යටට වී හෝ කාමරයේ මුල්ලකට වී බිම දිගා වී දෑතින්ම හිස හොඳින් ආවරණය කරගෙන හැකිලී සිටීමෙන් (Fetal position) සුන්බුන් වැටීමෙන් සිදුවන තුවාල අවම කරගන්න පුළුවන් වේවි.
නාය යාම අවසන් වූ වහාම ආපහු නිවසට යන්න හදිසි වෙන්න එපා. ප්‍රධාන නාය යාමෙන් පස්සේ තවත් කුඩා නාය යාම් සිදුවෙන්න ඉඩ තියෙන නිසා බලධාරීන් ආරක්ෂිතයි කියනකම් ඉවසීමෙන් ඉන්න. විදුලි රැහැන් කැඩී තිබෙන්නට පුළුවන් නිසා ඒ ගැනත් සැළකිලිමත් වෙන්න. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උපදෙස් දිගටම පිළිපදින්න. මේ වගේ විපත් දිගින් දිගටම නොවන්නට නම් අපි පරිසරය ගැනත් හිතන්න ඕනෑ. බෑවුම් සහිත ඉඩම්වල අනවසර ඉදිකිරීම් නතර කිරීම, වතුර බැස යන කානු පද්ධති අවහිර නොවී තබා ගැනීම සහ ගස් කැපීම වෙනුවට මුල් ගැඹුරට යන ගස් සිටුවීම මගින් පස ශක්තිමත් කරගන්න පුළුවන්. අපි හැමෝම නිතරම විමසිල්ලෙන් හිටියොත් මේ වගේ විපත්වලින් වෙන හානිය ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන් වෙනවා.
Source – Wishwa Karma







