වෛද්‍ය විද්‍යාව කියන්නේ මොන තරම් හාස්කම් කරන්න පුළුවන් දෙයක්ද..?
හුස්ම අයදින ජීවිතවලට අලුත් පණක් ලබාදෙන ඝෘෂිවරු වගේ වෛද්‍යවරු මේ මිහිපිට නැතුවාම නොවෙයි. නවීන තාක්ෂණයත්, වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක ඇත්තෙන්ම ඒක සැබෑවුණු කතාවක්.
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක අපූරු කතාවක්. මේ කතාව ඇසෙන්නේ කුළියාපිටිය ශික්ෂණ රෝහල පැත්තෙන්.. මෙතෙක් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ සුෂුම්නාව ආශ්‍රිතව ගෙල ප්‍රදේශයේ සිදුකළ ප්‍රථමවරට සිදුකළ සැත්කමත් මෙය වීම ඇත්තටම එහි විශේෂත්වය වෙනවා.
ස්ටැන්ඩලෝන් කේජ් නම් උපාංගයක් ගෙල ප්‍රදේශයේ සුෂුම්නාවෙහි සවිකරමින් මෙරට ප්‍රථමවරට සිදුකළ සැත්කම සාර්ථකව සිදුකළ බව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ විකලාංග රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය චානක සෝලංගආරච්චි පවසනවා.
රෝගියා තමන් වෙත පැමිණීමේදී දෙඅත් හා දෙපා ක්‍රියාත්මක නොවන ආකරයෙන් පැමිණි බවත් සැත්කමින් අනතුරුව රෝගියා
ඉතාම නිරෝගී සුවයෙන් පසුවන බවත් වෛද්‍ය චානක මෙහිදී කියා සිටියා.
“මේ සැත්කමත් ඉතාම සූක්‍ෂ්ම සැත්කමක්. මයිලෝපති ආදී තත්ත්ව තියෙන රෝගීන්ගේ ගෙල ප්‍රදේශයේ මෙතෙක් සැත්කම් සිදුකර නැති නිසා මෙය ඉතා සුවිශේෂී අවස්ථාවක්. ඊටත් වඩා මේ සැත්කමට භාජනය කළ රෝගියාගේ හදවත සියයට 20ක් පමණ වැඩ කරමින් තිබුණේ. නමුත් නිර්වින්දන වෛද්‍ය සඳමාලි හා සුමුදු යන මහත්ම මහත්මීන් අපේ ඉල්ලීම අනුව ඒ අවදානම අරගෙන කටයුතු කළා. ඉතාම සාර්ථක ලෙසින් සැත්කම නිමා කරන්න ලැබුණා වගේම සේවාලාභියාගේ ස්නායු පද්ධතියත් ඉතාම ප්‍රකෘති තත්ත්වයට තියෙනවා.
මෙහි විශේෂත්වය වෙන්නෙ ස්ටෑන්ඩලෝන් කේජ් කියන උපාංගය මෙතෙක් මෙරට භාවිත කරලා නැහැ. අපි මේ සේවාලාභියා වෙනුවෙන් එම උපාංගයක් ගෙන්වා ගත්තා. මෙම උපාංගයට හැකියාව පවතිනවා ඇණ දෙකක් මගින් ආබාධයට ලක්ව ඇති සුෂුම්නා අස්ථි දෙකක් අතර නියමිත දුර පවත්වා ගන්න. එසේ නොවන පැරණි ක්‍රමයට කළා නම් අපිට උගුර පිටුපසට ප්ලේට් එකක් දාන්න වෙනවා. එහෙම වුණා නම් කිසිවක් ගිලින්නත් බැරි වෙනවා. මේ සැත්කමින් අනතුරුව සේවාලාභියා ඉතාම හොඳින් ආහාර පානත් අරගත්තා. මම මේ රෝහලට ඇවිත් තවම මාස 3යි. මාස තුනකදී ඒ සියලුම සම්පත් ළඟා කරගන්න අපහසු නිසා බොහෝ උපාංග අපිටම නිර්මාණය කරගන්න වුණා. කලින් පළමු වතාවට සිදුකළ සැත්කමේදිත් අපි කළේ බොහෝ උපාංග නිර්මාණය කරගත්ත එක. මාස තුනකදී හැමදේම ගන්න බැරිවුණා කියලා සැත්කම් නොකර ඉන්න බැහැනෙ. අපි සියල්ල සම්පූර්ණ කරගෙන කරන්න හිටියොත් අපේ වාර්ෂික මාරු ඇවිත් යන්න වෙන කාලෙ වේවි. නිසි පරිදි ඒ නියමිත ඇඳන් ආදී බොහෝමයක් පහසුකම් නැතිවයි අපි මේ සැත්කම් කළේ. එහෙම සියල්ල තියෙනව නම් කරන සැත්කම් ප්‍රමාණය වැඩිකරලා විශාල සේවයක් සපයන්න හැකිවේවි.”
මෙවන් විශ්මිත සැත්කමක් සිදුකළ පසු ඒ වෛද්‍යවරයා කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
වෛද්‍ය චානක සිංගප්පූරුව, මැලේසියාව ආදී රටවල් කිහිපයකම මේ වනවිටත් එම සැත්කම් සඳහා නිතරම සහභාගි වන හා උපදේශන සේවාවලට සහභාගි වන වෛද්‍යවරයෙක්. එහිදී ඒ මහතා විශේෂයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවන් රෝග තිබේ නම් දෙවරක් නොසිතා පැමිණෙන ලෙසසි. ඒ සඳහා බිය විය යුතු නැති බවත් මුල් අවස්ථාවේදීම පැමිණියහොත් ඉතාම පහසුවෙන් එම තත්ත්ව මඟහරවාගත හැකි බවත් වෛද්‍ය සෝලංගආරච්චි පවසා තිබුණා.
දිවයින පුවත්පත ඇසුරෙන්..







