BREAKING NEWS
Search

කාසල් වීදියේ රෝහලේ දෙබිඩි දරු උපතක්..

1419

කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලෙන් ඉතා දුර්ලභ ගණයේ දෙබිඩි දරු උපතක් වාර්තා වී තිබේ. මෙම දරුවන් දෙදෙනාම ගැහැනු දරුවන් වන අතර ඔවුන් හෘදයෙන් සහ අක්මාවෙන් එකිනෙකාට බද්ධ වී උපත ලබා ඇති බව කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා සඳහන් කරයි.

පසුගිය 07 වැනි දින සිසේරියන් සැත්කමක් මගින් මෙම දරු උපත සිදු කර ඇති අතර මේ වන විට මව සහ දරුවන් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් අධ්‍යක්ෂවරයා තහවුරු කරයි.

අදාළ මව රෝහලේ සායනවලට සහභාගී වෙමින් සිටියදී ගර්භනී සමයට සති 20ක් පමණ ගත වන විට කුස තුළ සිටින්නේ දෙබිඩි දරුවන් බව වෛද්‍ය පරීක්ෂණ මගින් හඳුනා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට හැකි වී ඇත. මෙම තත්ත්වය කල් තියා හඳුනා ගැනීමත් සමඟ විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් සිසේරියන් සැත්කමක් මගින් දරුවන් බිහි කිරීමට තීරණය කර තිබේ. උපතේදී මෙම දරුවන්ගේ බර කිලෝග්‍රෑම් 4 ඉක්මවා තිබූ අතර මේ වන විට ඔවුන් නව ජන්ම ඒකකයේ විශේෂ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

දරුවන්ගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් පවතින අතර, දරුවන්ගේ වර්ධනය මාස 6ක් පමණ සම්පූර්ණ වූ පසු ඔවුන් වෙන් කිරීමේ සැත්කම සිදු කිරීමට වෛද්‍යවරුන් අපේක්ෂා කරයි. මෙම සංකීර්ණ සැත්කම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, ඊට පෙර දරුවන්ගේ එම්.ආර්.අයි. (MRI) පරීක්ෂණයක් ද රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව තුළ මීට පෙර ද මෙවැනි සාර්ථක ශල්‍යකර්ම සිදු කර ඇති ඉතිහාසයක් පවතී. විශේෂයෙන්ම 2008 වසරේදී කරාපිටිය රෝහලේදී උපත ලැබූ දෙබිඩි දරුවන් දෙදෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සාර්ථකව වෙන් කිරීමට වෛද්‍යවරු සමත් වූහ. එම අත්දැකීම් ද පදනම් කර ගනිමින්, මෙම අලුත උපන් බිළිඳියන් දෙදෙනා ද මාස හයකින් පමණ පසුව සැත්කමකට භාජනය කර සාර්ථකව වෙන් කිරීමට හැකි වනු ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා විශ්වාසය පළ කරයි.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!