BREAKING NEWS
Search

කුරුණෑගල වැව රවුලේ සුනඛයන් අට දෙනෙකුට ව.ස දුන් දෙසොයුරෝ පලා ගිහින්..

1636

ප්‍රදේශ වාසීන් ගේ දයානුකම්පාවට ලක් වෙමින් ප්‍රදේශයේ දිගු කාලයක සිට කුරුණෑගල වැව රවුම අවට රැඳී සිටි සුනඛයන් අට දෙනකුට වස දී මරා දැමූ බව කියන පුද්ගලයන් දෙදෙනා මේ වන විට හඳුනා ගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

නමුත් ඔවුන් දෙදෙනා මෙම සිද්ධියෙන් පසුව ප්‍රදේශය අතහැර පලාගොස් සිටින බව පැවසෙයි.

මෙම සතුන් අතරේ ගැබ් ගත් ගැහැණු සතුන් දෙදෙනක් ද සිටි බව ද ප්‍රදෙශවාසීහු කියති.

කිසිවකුටත් කරදරයක් නොමැතිව ප්‍රදේශවාසින්ගේ ආදරය හා රැකවරණය ලබමින් ප්‍රජා සුනඛයන් (Community dogs ) ලෙස ජීවත් වූ එම සුනඛයන් මෙලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි ශෝකයටත් කම්පනයටත් පත්ව සිටින අතර ඔවුන් පවසනුයේ රාත්‍රී කාලය තුළ සිදු කෙරෙන විවිධ නීති විරෝධී ක්‍රියාවනට බාධාවක් බැවින් ඔවුන් දෙදෙනා මෙම සුනඛ ඝාතන සිදු කරන්නට ඇති බව ය.

මේ අතර සත්ත්ව සුබසාධන සංගම් ද මේ ඝාතන සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර ඒ ඝාතන වලට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග ද ගනිමින් සිටියි.

කුරුණෑගල මූලස්ථාන පොලිසිය මෙම පරීක්ෂණ අරඹා ඇත්තේ වැව රවුම ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු පිරිසක් එක්ව සිදුකළ පැමිණිල්ලකට අදාළව ය.

ඉහත සිදුවීම හා සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ද කුරුණෑගල වැව රවුම ආසන්නයේම ප්‍රදේශයක පදිංචි සහෝදරයන් දෙදෙනකු බව ද ඔවුන් නීති විරෝධී ගව ඝාතන වලට ද සම්බන්ධ බව ද පැවසෙයි. ඔවුන් දෙදෙනා පසුගිය 13 වැනිදා රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණ වස මිශ්‍ර මස් කැබලි කෑමට දී සුනඛයන් අට දෙනා මරණයට පත්කර ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ප්‍රදේශයේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන ඇසුරින් සැකකරුවන් දෙදෙනා පැහැදිලිවම හඳුනාගෙන තිබෙන අතර, ඔවුන් සුනඛයන්ට කෑමට මස් කැබලි ලබාදෙන ආකාරයත් ඒවා කෑමට ගත් සුනඛයන් වේදනා විඳිමින් මරණයට පත්වන ආකාරයත් එම දර්ශනවල පැහැදිලිව සටහන් වී ඇති බවත් සඳහන් ය.

එමෙන්ම එම සුනඛයන් කෙරෙහි ඉමහත් දයානුකම්පාවක් දැක්වූ කුරුණෑගල වැව රවුම ප්‍රදේශයේ පදිංචි කරුවන් ගේ දරුවන් කිහිප දෙනකුම මෙම සිදුවීම මුල් කොට දැඩි මානසික කම්පනයකින් පසුවන බව ද වාර්තා වේ.

| vinivida

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!