BREAKING NEWS
Search

මන්නාරමේ සුළං බලාගාර දෙක ජනපති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි

1596

ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් පවා ප්‍රදානය කර තිබූ, මන්නාරම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 20 සහ මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකක වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියෝග කර තිබේ.

 

මෙම තීරණය ගෙන ඇත්තේ, යෝජිත සුළං විදුලි ව්‍යාපෘති සහ ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් මතු කරන ලද ගැටලු පිළිබඳව ඊයේ (13) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. රටේ බලශක්ති අවශ්‍යතාව, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ආර්ථික වැදගත්කම සහ මන්නාරමේ ජනතාවගේ ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය.

බලශක්තිය යනු දේශීය විදුලි පිරිවැය, කාර්මික තරගකාරීත්වය, විදේශ ආයෝජන සහ සමස්ත ආර්ථික වර්ධනයට සෘජුවම සම්බන්ධ ජාතික සම්පතක් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සංවර්ධනය අත්‍යවශ්‍ය වුවද, එය ප්‍රදේශවාසීන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙමින්, පොදු එකඟතාවයකින් යුතුව ක්‍රියාත්මක විය යුතු බවද ඔහු අවධාරණය කළේය.

 

මන්නාරමේ ආගමික නායකයින් සහ ප්‍රදේශවාසීන් මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය මෙන්ම ප්‍රදේශයේ ඉල්මනයිට් ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවන පාරිසරික හානිය, ජීවනෝපායන්ට සිදුවන බාධා සහ පාරිසරික නිර්දේශ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මෙහිදී විරෝධය පළ කළහ. ඊට ප්‍රතිචාර වශයෙන්, මෙම කරුණු විමර්ශනය කර කඩිනම් විසඳුම් ලබා දීම සඳහා ව්‍යාපෘති කටයුතු මාසයක කාලයකට අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කළේය.

මෙම ව්‍යාපෘතිය මගින් විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් සත 4.65 කට (ආසන්න වශයෙන් රු. 13) නිෂ්පාදනය කළ හැකි බව මෙහිදී අනාවරණය විය. එය අදානි සමාගමෙන් විදුලි ඒකකයක් මිලදී ගැනීමට යෝජිත ඇමරිකානු ඩොලර් සත 8.26 (රු. 25) ක මුදලට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයක් වන අතර, සාමාන්‍ය විදුලි ජනන ඒකකයක වියදම රු. 13 මට්ටමේ පවත්වාගෙන යාමේ රජයේ ඉලක්කයට ද එය අනුකූල වේ.

මීට අමතරව, කොකිලායි පාලම ප්‍රතිසංස්කරණය සහ මන්නාරම නව ජල ව්‍යාපෘතිය සඳහා අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී තහවුරු කළේය.

 

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ, සුළං බලාගාරය හේතුවෙන් සිදුවිය හැකි ගංවතුර තත්ත්වයන් පිළිබඳ වාර්තාවක් ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුව විසින් සකස් කරන බවයි. තවද, වනජීවී දෙපාර්තමේන්තුව සහ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් උතුරු පළාතේ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් ඒකාබද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා උතුරු පළාතේ ආගමික නායකයින්, ආණ්ඩු සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මන්නාරම පුරවැසි කමිටුවේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!