BREAKING NEWS
Search

භූගත සිර මැදිරිවල අනීතිකව රඳවාගැනීම් චෝදනා ලද උළුගෙතැන්නට ඇප

439

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙත ඇප නියම කර ඇත. අදාළ නඩුව අද (14) දින පෙරවරුවේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම ඇප නියෝගය නිකුත් කෙරිණි.

පසුගිය ජූලි මස 28 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ, අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරවීමේ සිදුවීමකට අදාළවය. මෙම චෝදනාව සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ශාන්ත බණ්ඩාර නමැති පුද්ගලයා අතුරුදහන් කිරීම පිළිබඳව උළුගේතැන්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව, හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් මොහොට්ටි මහතා ඇතුළු තවත් තිදෙනෙකු ද මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබුණි.

 

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ පිහිටි “ටැංජන්” හා “ගන්සයිඩ්” ලෙස හැඳින්වෙන භූගත සිරමැදිරිවල නීති විරෝධී ලෙස පුද්ගලයන් රඳවා තැබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නාවික හමුදාපතිවරුන් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රශ්න කර තිබූ බවද වාර්තා විය.

නිශාන්ත උළුගේතැන්න මහතා නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ කාලසීමාව තුළ මෙම නීති විරෝධී රඳවා තැබීම් පිළිබඳව එවකට සිටි නාවික හමුදාපතිවරුන් දැනුවත්ව සිටි බවට කරුණු හෙළිදරව් වී ඇත. ඔහු විසින් ලබා දී ඇති ප්‍රකාශයට අනුව, එම කාලයේදී අද්මිරාල් සෝමතිලක දිසානායක සහ අද්මිරාල් තිසර සමරසිංහ යන මහත්වරු නාවික හමුදාපති ධුර දැරූහ. තවද, එම අවධියේදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නැගෙනහිර ආඥාපතිවරයා ලෙස (රියර් අද්මිරාල්වරයෙකු ලෙස) හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ මහතා ද සේවය කර ඇති බවද උළුගේතැන්න මහතා සඳහන් කර තිබේ.

 

 

තමන් නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ පරිශ්‍රයේ පිහිටි මෙම භූගත සිරමැදිරි පරීක්ෂා කිරීම සඳහා එවකට නාවික හමුදාපතිව සිටි අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාගෙන් අවසර ලබා ගත් බවද උළුගේතැන්න මහතා සිය ප්‍රකාශය මගින් හෙළි කර ඇත. ඔහු බුද්ධි අධ්‍යක්ෂවරයාව සිටි සමයේ නියෝජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ලෙස ඩී.පී. ප්‍රේමරත්න මහතාත්, විශේෂ යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් ප්‍රසන්න හේවගේ මහතාත් කටයුතු කළ බවද එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශාන්ත බණ්ඩාර මහතා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් ලබා දී ඇති තොරතුරු පදනම් කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව සම්බන්ධයෙන් සිය විමර්ශන තවදුරටත් පුළුල් කරමින් පවත්වාගෙන යයි. මෙම නීති විරෝධී රඳවා තැබීම් සහ අතුරුදහන් කිරීම් සඳහා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් අපේක්ෂා කරන බවද වාර්තා වේ.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *