BREAKING NEWS
Search

ඉතිහාසය වෙනස් කරමින් සරසවි නඩත්තු අංශයේ වැඩ සහයක උපාධිය සම්පූර්ණ කරයි.

5

රුහුණ විශ්වවිද්‍යාලයේ 32 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී එම විශ්වවිද්‍යාලයේම නඩත්තු අංශයේ සේවය කරන වැඩ සහායකයකු විසින් විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථමවරට උපාධියක් හිමි කරගෙන තිබේ.

මෙසේ උපාධි හිමිකර ගෙන ගත්තේ රුහුණ විශ්වවිද්‍යාලයට යාබද දෙවුන්දර ගන්දරාවත්තේ තිදරු පියෙකු වන ඩී. ඩී. ප්‍රියන්ත රණසිංහ මහතා ය. රුහුණ විශ්වවිද්‍යාලය පේන දුරින් ජීවත් වූ ඒ මහතා 2001 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයේදී කලා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් සමග විභාගය සමත් වුවද විශ්වවිද්‍යාලයකට ඇතුළත් විය නොහැකි විය.

විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට සුදුසුකම් නොලැබූ ඔහු උපාධි සිහිනය සැබෑ කරගැනීමට 2002 දී රුහුණ විශ්වවිද්‍යාලයේ බාහිර ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි වී අධ්‍යාපන කටයුතු කරගෙන ගියද එය අතරමඟ නතර කර දැමීමට සිදුවූයේ පෞද්ගලික හේතුවක් නිසාය. ඒ අතර ඔහුගේ බාහිර උපාධි ලියාපදිංචියද අවසන්ව විය.

ඒ අතර ඔහුට රුහුණ විශ්වවිද්‍යාලයේ නඩත්තු අංශයේ වැඩ සහායක රැකියාවක් ලැබිණි. විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණි ප්‍රියන්තගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ඇසූ බොහෝ දෙනා ඔහුට උපාධිය සම්පූර්ණ කර ගන්නා ලෙස දිරිමත් කරන්නට විය. ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ සේවය කරන බොහෝ දෙනකුගේ සහයෝගය මත ප්‍රියන්ත මහතාට ඔහුගේ බාහිර උපාධි ලියාපදිංචිය අලුත් කරගෙන ඔහුගේ උපාධිය අවසන් කර ගැනීමට හැකිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී ඒ මහතාටද උපාධියක් හිමිකර ගැනීමට හැකිවීම බොහෝ දෙනකුගේ සතුටට හේතු වී තිබේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *