BREAKING NEWS
Search

Update: කත්මණ්ඩු සිට කිමී 18 ක් දුරින් සැඟව සිටි ඉෂාරා සමග යාපනේ යුවළකුත් අසුවෙලා – හෙට (15) රැගෙන එයි

3026

පාතාල කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන ඊශාරා සෙව්වන්දි ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය අද උදෑසන තහවුරු කළ අතර ඒ සම්බන්ධ විස්තර ලැ‍බෙමින් පවතී. ඇය හෙට (15) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බවද වාර්තාවේ.

ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ නේපාල ආරක්ෂක අංශ එක්ව දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර් 18ක් පමණ දුරින් පිහිටි ස්ථානයකදී මෙම සැකකරුවන් පිරිස අල්ලාගෙන ඇත. මෙම මෙහෙයුම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ද ලැබී ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් අනෙකුත් සැකකරුවන් අතර ගම්පහ සහ නුගේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු මෙන්ම යාපනයේ පදිංචි යුවළක්ද වන බව හඳුනාගෙන තිබේ.

මෙම වසරේ පෙබරවාරි 19 වන දින අලුත්කඩේ අංක 05 අධිකරණ සංකීර්ණය තුළදී සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ඇයට චෝදනා එල්ල වී තිබේ.

වයස 25ක් වන ඊශාරා සෙව්වන්දි, අධිකරණ ශාලාව තුළ වෙඩි තැබීම සිදුකළ තුවක්කුකරුට සෘජුව ආධාර අනුබල දුන් තැනැත්තිය ලෙස සැලකේ. ඝාතනය සිදු වූ දිනයේ සිටම ඇය අත්අඩංගුවට පත්වීම මග හරිමින් සිටි අතර, ව්‍යාජ අනන්‍යතාවයක් යටතේ විදෙස් ගතව සැඟවී සිට ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පස්දෙනා හෙට (15) දිනය වන විට නේපාලයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව පොලීසිය තහවුරු කර ඇත. වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඔවුන් මෙරටට පිටුවහල් කිරීමට අදාළ කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතී

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!