BREAKING NEWS
Search

ග‍්‍රින්ලන්තය අපි අල්ලගන්නවා.. විරුද්ද වෙන රටවලට බදු ගහනවා..- ට‍්‍රම්ප්

675

ග්‍රීන්ලන්තය අමෙරිකා එක්සත් ජනපදයේ පාලනය යටතට ගැනීමට සහය නොදක්වන රටවලට එරෙහිව ආනයන බදු පැනවීමට තමා කටයුතු කළ හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කළේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරදී අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල දූත පිරිසක් සහ ඩෙන්මාර්ක බලධාරීන් අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීමට උත්සාහ කරමින් සිටින පසුබිමකය.

ධවල මන්දිරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, අමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ග්‍රීන්ලන්තය අත්‍යවශ්‍ය බවයි.

මීට පෙර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් යුරෝපීය මිත්‍ර රටවලට බදු පැනවීමට තර්ජනය කළ ආකාරයටම, ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ද එම පියවර ගත හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. කෙසේ වෙතත්, මෙම බදු පැනවීම් පිළිබඳ වැඩිදුර විස්තර ඔහු අනාවරණය කර නොමැත.

මේ අතර, කෝපන්හේගන්හි සංචාරයක නිරත වූ සෙනෙට් සභික ක්‍රිස් කූන්ස් සහ ලීසා මර්කොව්ස්කි ඇතුළු ද්විපාර්ශ්වික දූත පිරිස ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා කළහ.

එහිදී සෙනෙට් සභික මර්කොව්ස්කි අවධාරණය කළේ ග්‍රීන්ලන්තය සැලකිය යුත්තේ අමෙරිකාවේ “මිත්‍රයෙකු” ලෙස මිස “දේපළක්” ලෙස නොවන බවයි. එමෙන්ම, අමෙරිකානු ජනතාවගෙන් 75%ක් පමණ ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට කැමැත්තක් නොදක්වන බව ද ඇය පෙන්වා දුන්නාය.

මර්කොව්ස්කි සහ සෙනෙට් සභික ජීන් ෂහීන් එක්ව, අදාළ රටේ හෝ නේටෝ සංවිධානයේ අනුමැතියකින් තොරව ග්‍රීන්ලන්තය වැනි ස්වෛරී රාජ්‍යයන් ඈඳා ගැනීමට අරමුදල් භාවිත කිරීම තහනම් කරන නව පනතක් ද හඳුන්වා දී ඇත.

ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය ජෙන්ස්-ෆ්‍රෙඩ්රික් නීල්සන් පසුගියදා ප්‍රකාශ කළේ, අමෙරිකාව සහ ඩෙන්මාර්කය අතරින් තේරීමක් කිරීමට සිදු වුවහොත් තමන් ඩෙන්මාර්කය, නේටෝ සංවිධානය සහ යුරෝපා සංගමය තෝරා ගන්නා බවයි.

ග්‍රීන්ලන්තයේ ස්වදේශික ඉනූට් ජනතාව නියෝජනය කරන සංවිධාන ද පවසා සිටියේ අමෙරිකානු පරිපාලනයේ මෙම ප්‍රකාශ මගින් ඔවුන් කුඩා ජාතීන් සහ ස්වදේශික ජනතාව දෙස බලන ආකාරය පැහැදිලි වන බවයි.

ග්‍රීන්ලන්තය සතු ස්වාභාවික සම්පත් සහ ඛනිජ සම්පත් කෙරෙහි රුසියාව සහ චීනය ද අවධානය යොමු කර ඇති බව පවසමින් ට්‍රම්ප් සිය තීරණය සාධාරණීකරණය කිරීමට උත්සාහ කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!