BREAKING NEWS
Search

වැලිගම ඝාතකයින් සොයාගෙන අවසන් දින දෙකක් තුළ අල්ලනවා – මහජන ආරක්ෂක ඇමති

322

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව සාර්ථක තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.  (23) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි දින දෙක තුන ඇතුළත එම සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බවය.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන සඳහා යොදවා ඇති බවත්,

 

සැකකරුවන් කොටු කර ගැනීම සඳහා අවශ්‍ය නියෝග දැනටමත් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පසුබිම කවරක් වුවද, සෑම ජීවිතයක්ම ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවද ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට ලක්වූයේ ඊයේ (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ පිහිටි සිය නිල කාර්යාලය තුළදීය. නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

සුදු පැහැති කමිසයකින් සහ කළු පැහැති මුඛ ආවරණයකින් සැරසී සිටි වෙඩික්කරු, සභාපතිවරයා සිය නිල අසුනේ අසුන්ගෙන සිටියදීම ඔහු ඉලක්ක කර වෙඩි ප්‍රහාර හතරක් පමණ එල්ල කර තිබේ. අනතුරුව තවත් පුද්ගලයෙකු සමඟ යතුරුපැදියකින් පලා යන අයුරු අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන්ව තිබූ බව වාර්තා වේ.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සභාපතිවරයා මාතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය. පොලීසිය සඳහන් කළේ ඔහුගේ හිස, ගෙල සහ පපු ප්‍රදේශයට වෙඩි වැදී තුවාල සිදුව තිබූ බවය.

 

 

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මක වන අතර, බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘මිදිගම රුවන්’ නැමැත්තාගේ පාර්ශ්වයක් විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලීසිය මේ වන විට සැක පළ කර තිබේ.

මේ අතර, ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමසේකර මහතා, තමාගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව පෙන්වා දෙමින් ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා පසුගිය අගෝස්තු මස 29 වන දින පොලිස්පතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *