වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අද පෙරවරුවේ සිය නිල කාර්යාලය තුළදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මේ වනවිට වාර්තාවී තිබේ. මෙම සිදුවීම ප්‍රාදේශීය සභාවේ මහජන දිනය පැවති අද දින පෙරවරු 10:30 ට පමණ සිදුව ඇති බව වාර්තා වේ. 38 හැවිරිදි තිදරු පියෙකු වූ ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි ප්‍රහාරයෙන් පසු වහාම මාතර මහ රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇත.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඔහු සාමාන්‍ය මහජනතාව අතර රැඳී සිටිමින් සභාපතිවරයා හමුවීමට අවස්ථාව එනතෙක් බලා සිට තිබේ. සුදු පැහැති කමිසයකින් සහ කළු පැහැති මුහුණු ආවරණයකින් සැරසී සිටි මෙම පුද්ගලයා, සිය වම් අතේ ඇඟිලි ප්ලාස්ටර් වැනි යමකින් ආවරණය කරගෙන සිටි ආකාරයත්, කනේ ජංගම දුරකථන ශ්‍රවණ උපකරණයක් (එයාර් පොඩ්) පැළඳ සිටි අයුරුත් CCTV දර්ශනවල සටහන්ව තිබී ඇත. ඔහු ලිපිගොනු කිහිපයක් දකුණු අතින් දරා සිට ඇති අතර, ගිනි අවිය එම ලිපිගොනු තුළ සඟවාගෙන පැමිණෙන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
මහජන දිනය වූ බැවින් අද දින සභාපතිවරයා නිල අසුනේ සිට ඇති අතර
සභාපතිවරයා හමුවීමට පැමිණි මහජනතාව සමග මෙම පුද්ගලයා ද සිය වාරය එනතුරු සභාපති නිල කාමරයට පිටතින් අසුන්ගෙන සිට ඇත.
සභාපති හමුවීමට පැමිණි පුද්ගලයින් දෙන්නෙකු ඉදිරිපස අසුනේ සිටියදී හා සජබ තවත් සභිකයෙකුද එම කාර්යාලයේ සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
සභාපතිවරයා හමුවූ ලිපිකාර කාන්තාවක් නිල කාමරයෙන් පිටතට පැමිණි අවස්ථාවේ, කාමරයට ඇතුළු වී ඇති ඝාතකයා සිය නිල අසුනේ සිටි ලසන්ත වික්‍රමසේකර මහතාගේ හිසට සහ ගෙලට පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර තිබේ. වෙඩි තැබීමෙන් පසු, සැකකරු තමන් පැමිණි යතුරුපැදියෙන්ම පළා යන අයුරුද ආරක්ෂක කැමරා දර්ශනවල සටහන්ව ඇත. සිද්ධිය වූ ස්ථානයට පැමිණි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා පස්වරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේය.
ලසන්ත වික්‍රමසේකර මහතා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත්වුයේ දේශපාලනික වශයෙන් අතිශය ආන්දෝලනාත්මක පසුබිමකදීය. පසුගිය ජූලි 24 වන දා පැවති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය නියෝජනය කළ ඔහු ඡන්ද 23 ක් ලබා ගනිමින් සභාපති ධූරයට තේරී පත් වූ අතර, ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට හිමිවූයේ ඡන්ද 22 කි. ඊට පෙර පැවති සභා වාර කිහිපයක්ම අඩාල වූයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පැහැරගෙන ගිය බවට එල්ල වූ චෝදනා සහ එම පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි තැබීමේ සිදුවීම් මධ්‍යයේය.
‘මිදිගම ලසා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මියගිය ලසන්ත වික්‍රමසේකර හරක් කටා සමග සමීප ඇසුරක් පවත්වමින් පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බවටත් කොල්ලකෑම්,ඝාතන සැලසුම් කිහිපයක සැකකරුවෙකුව සිටි බවටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකු බවටත් වාර්තාවූ අතර ඔහුට සජබ අපේක්ෂකත්වය දීමට පෙර මෙම ඉතිහාසය ගැටලුකාරීවී තිබූ බවටද වාර්තා පළව තිබුණි.
ඝාතනයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ ආරම්භ කර ඇත.
Gossip Lanka News








