BREAKING NEWS
Search

ඔහුට අත්වුනේ මොන තරම් අවාසනාවන්ත ඉරණමක්ද ? මාළු පාන් කෑල්ලක් හිරවී පුද්ගලයෙකු නැති වෙයි.

2799

හෝමාගම, පිටිපන දකුණ ප්‍රදේශයේදී මාළු පාන් ගෙඩියක් ආහාරයට ගනිමින් සිටි පුද්ගලයෙකු එහි කොටසක් උගුරේ සිරවීමෙන් අනතුරුව මරණයට පත්වී ඇති බව හෝමාගම මූලස්ථාන පොලීසිය වාර්තා කරයි. මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ පිටිපන දකුණ, අතපත්තු ගොඩ පාරේ පදිංචිව සිටි 72 හැවිරිදි වියේ පසුවූ, විශ්‍රාමික නගර රියැදුරෙකු වූ දිසානායක මුදියන්සේලාගේ සුනිල් මහතාය.

 

මියගිය පුද්ගලයා රෝගී තත්ත්වයකින් පසුවූවෙකු බවත්, සිද්ධිය වූ දින උදෑසන ආහාරය සඳහා මාළු පාන් ගෙඩියක් අනුභව කිරීමට ඔහු විසින්ම කළ ඉල්ලීමක් මත නිවැසියන් විසින් එය ගෙනැවිත් දී ඇති බවත් වාර්තා වේ.

මාළු පාන් ගෙඩියෙන් කොටසක් අනුභව කරමින් සිටින අතරතුර ඔහු හදිසියේම අපහසුතාවයට පත්ව, කතා කිරීමට නොහැකිව ඇද වැටී ඇත.

තත්ත්වය සැලවීමත් සමග නිවැසියන් විසින් 1990 සුවසැරිය ගිලන් රථ සේවය දැනුවත් කර ඇත. එම ගිලන් රථය පැමිණි අවස්ථාවේ එහි සිටි හෙද නිලධාරිනිය විසින් අදාළ පුද්ගලයා පරීක්ෂා කර බලා ඔහු ඒ වනවිටත් මියගොස් ඇති බවට තහවුරු කර තිබේ. පසුව 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත.

හෝමාගම හදිසි මරණ පරීක්ෂක සහ සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව, දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම මූලික රෝහල වෙත යොමු කරන ලදී. එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය කුසල් දයාසිරි මහතා විසින් සිදුකළ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ආහාරයට

ගත් මාළු පාන් කැබැල්ලක් පෙනහලු තුළට ගමන් කිරීම නිසා ඇතිවූ ශ්වසන අපහසුතාව මරණයට හේතු වූ බවයි. ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තාවට අනුව මරණ පරීක්ෂකවරයාද එම නිගමනය තහවුරු කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මරණ පරීක්ෂකවරයා, රෝගී තත්ත්වයේ පසුවන පුද්ගලයන්ට ඝන ආහාර ලබාදීමේදී ඔවුන්ගේ ඥාතීන් සහ භාරකරුවන් වඩාත් සැලකිලිමත් විය යුතු බවත්, එසේ නොවීම මෙවැනි අවාසනාවන්ත අකල් මරණ සඳහා හේතු විය හැකි බවත් අවධාරණය කළේය.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!