අපි නිදාගත්තම අපේ අතේ තියෙන පෝන් එක පවා බිම වැටෙන්නේ ඇයි?
සාමාන්‍යයෙන් අපිට නින්ද ගියාම අපේ මොළයෙන් මාංශ පේශිවලට තියෙන පාලනය අත්හැරිලා, මුළු ඇඟම ලිහිල් තත්වයට පත් වෙනවා. අන්න ඒ නිසයි වාඩි වෙලා ඉද්දි නින්ද ගියොත් අපේ ඔළුව ඉබේම පහත් වෙන්නේ නැත්නම් අතේ තියෙන දෙයක් බිම වැටෙන්නේ. හැබැයි මේ වැඩේ කුරුල්ලන්ට වෙන්නේ නැත්තේ ඇයි කියලා හිතලා තියෙනවද? උන් ගහක අත්තක් උඩ සැපට නිදාගත්තත්, මහා හුළඟකට ගහ හෙල්ලුණත් බිමට වැටෙන්නේ නැහැ.
මේක පිටුපස තියෙන්නේ හරිම අපූරු ස්වභාවික නිර්මාණයක්. කුරුල්ලන්ගේ කකුල්වල විශේෂ කණ්ඩරා (Tendons) පිහිටලා තියෙනවා. මේවා හරියට ශක්තිමත් ලණු වගේ වැඩ කරන්නේ. කුරුල්ලෙක් අත්තක් උඩ ලැගලා ඉන්නකොට එයාගේ මුළු ඇඟේම බර කකුල් මතට වැටෙනවා. අන්න ඒ බර නිසාම අර කණ්ඩරා ඉබේම ඇදිලා කුරුල්ලාගේ පයේ ඇඟිලි ටික හරියට අඬුවකින් තද කරනවා වගේ අත්ත වටේට ඉබේම හිරවෙලා ලොක් වෙනවා.
මේකේ තියෙන විශේෂත්වය තමයි, මේ “ලොකින් සිස්ටම්” එක වැඩ කරන්න කුරුල්ලාට කිසිම අමතර ශක්තියක් වැය කරන්න ඕන නැති එකයි. අපි දෙයක් අතින් තද කරලා අල්ලගන්නකොට අපිට මාංශ පේශි වෙහෙසවන්න වුණාට, කුරුල්ලාට ඒක වෙන්නේ එයාගේ ඇඟේ බරෙන්මයි. ඒ කියන්නේ කුරුල්ලා හොඳටම නිදාගෙන ඉන්න තරමටම, ඇඟේ බර කකුල් වලට තදින් දැනෙන නිසා අර අත්ත අල්ලගෙන ඉන්න ලොක් එක තවත් ස්ථාවර වෙනවා මිසක් බුරුල් වෙන්නේ නැහැ.
සරලවම කිව්වොත්, කුරුල්ලාට අත්ත අතහරින්න නම් අනිවාර්යයෙන්ම ඇහැරිලා එයාගේ ඇඟ ටිකක් ඉහළට ඔසවන්නම ඕනේ. එතකොට විතරයි අර ඇදිලා තිබ්බ කණ්ඩරා බුරුල් වෙලා ඇඟිලි විවෘත වෙන්නේ.
ස්වභාවධර්මයේ තියෙන මේ වගේ පුංචි පුංචි නිර්මාණ ඇත්තටම මාරම පුදුමයි නේද?
©️✍️Hemantha niroshan.







