අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කාරිය ලෙස සැකකෙරෙන ඉෂාරා සෙව්වන්දිට, සිද්ධියෙන් අනතුරුව මතුගම ප්‍රදේශයේ සැඟවී සිටීමට ප්‍රකට පාතාල නායකයෙකු ආධාර උපකාර කර ඇති බවට පොලිස් විමර්ශන මගින් තොරතුරු හෙළිවී තිබේ.
කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සමග පවතින සමීප මිත්‍රත්වය හේතුවෙන් විදේශගතව සිටින මෙම පාතාල නායකයා, සිය කල්ලියේ සාමාජිකයන් යොදවා ඉෂාරා සෙව්වන්දිට මාසයකට ආසන්න කාලයක් රහසිගත ස්ථාන කිහිපයක නවාතැන් පහසුකම් සලසා දී ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස සැඟවී සිටි කාලය තුළ ඇය සිය දිගු කොණ්ඩය කොටට කපා හඳුනාගැනීමට අපහසු වන පරිදි සිය පෙනුම වෙනස් කරගෙන ඇති බවටද තොරතුරු ලැබී ඇත.
සැකකාරිය මතුගම ප්‍රදේශයේ සැඟවී සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත එම ප්‍රදේශය සෝදිසි කිරීමට පොලීසිය කටයුතු කළද, ඒ වනවිටත් ඇය එතැනින් පළාගොස් තිබිණි. පසුව ඇය මාතර ප්‍රදේශයේ දින කිහිපයක් ගත කර, යාපනයට ගොස් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළාගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන අධිකරණය තුළට ගිනි අවියක් රැගෙන ආ සැකකාරියට රැකවරණ සැපයීමෙන් වැළකී සිටින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා ඒ දිනවල මහජන නිවේදන පළ විය. මෙම සැකකාරියට සැඟවී සිටීමට උදව් කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මාධ්‍ය මගින් දැනුම් දෙන ලදි.
එසේම සැකකාරිය පිළිබඳ වැදගත් තොරතුරු සපයන පුද්ගලයින් සඳහා මූල්‍ය ත්‍යාගයක් ප්‍රකාශයට පත් කර තිබුණි.
ඒ අනුව ලැබුණ ඔත්තුවකින් නිශ්චිතවහම ඇය සිටියේ මතුගම බවට කරුණු අනාවරණය වූයේ පසුගිය පෙබරවාරි 23 වනදාය. හෙළි වූ කරුණු අනුව, ඝාතනයෙන් පසු සැකකාරිය කොළඹ සිට වෙඩික්කරු සමඟ වාහනයකින් වෙන්නප්පුව තෝප්පුව ප්‍රදේශයට පැමිණ පසුව, මතුගම සැඟව සිටි බව කියැවිණි. මතගම ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලද්දේ ඇය අල්ලාගන්නටය. පොලීසිය මතුගම නගරය සහ අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කර තෝරාගත් ස්ථානවල මාර්ග බාධකද ස්ථාපිත කර තිබුණි.
වාර්තාවන ආකාරයට ඇය සිටිනා තැන ගැන ඔත්තුව ලැබී පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන්නට පෙර ඇය ඉක්මණින් එතැනින් පළායාම නිසා මතුගමදී ඇය අල්ලාගන්නට තිබූ අවස්ථාව මගහැරී ගොස් තිබේ.
මේ අතර, අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සහ අනෙක් සැකකරුවන් වන ජේ. කේ. බායි සහ සුරේෂ් තක්ෂි යන තිදෙනා, පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය අවසර ලබාගෙන තිබේ. කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අනුමැතිය මත මෙම රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Gossip Lanka News