ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට එල්ල කර ඇති ප්‍රහාර මාලාවට අද (04) වන විට දින පහක් ගතව තිබේ. එම කාලය තුළ සිදුවී ඇති මරණ සහ හානි පිළිබඳ තොරතුරු දැඩි කනස්සල්ලට හේතු වන බව වාර්තා වේ.
අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය වන Human Rights Activists News Agency (HRANA) සඳහන් කරන්නේ, පසුගිය 28 වනදා සිට මේ දක්වා කාලය තුළ ඉරානයේ සිවිල් වැසියන් 1,097 දෙනෙකු මියගොස් ඇති බවයි.
එම සංඛ්‍යාව අතරින් 181 දෙනෙකු වයස අවුරුදු 10ට අඩු ළමුන් බවත්, තවත් 5,402 දෙනෙකුට තුවාල සිදුව ඇති බවත් එම ආයතනය පවසයි. තුවාල ලැබූවන් අතර ද ළමුන් 100කට ආසන්න පිරිසක් සිටින බව සඳහන් වේ.
පසුගිය පැය 24 තුළ පමණක් අවම වශයෙන් ප්‍රහාර 104ක් වාර්තා වී ඇති අතර, එම ප්‍රහාර හමුදා කඳවුරු පමණක් නොව වෛද්‍ය මධ්‍යස්ථාන හා නේවාසික ප්‍රදේශ ද ඉලක්ක කර ගෙන සිදුකර ඇති බව HRANA වාර්තා කරයි.
ඉහත සංඛ්‍යාතවලට අමතරව තවත් මරණ රැසක් පිළිබඳව සනාථ කිරීමේ ක්‍රියාවලියක් මේ වන විටත් සිදුකරමින් පවතින බවද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මට්ටමින් සාමකාමී විසඳුමක් සොයා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ අවධානය තවත් වර්ධනය වෙමින් පවතින බව විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙයි.







