BREAKING NEWS
Search

පාස්කු සිදුවීම පිල්ලෙයාන් දැන සිටියා. ජමීල් ආ බව ටාජ් සමුද්‍ර හෝටලයෙන් දැන්වුවත් බුද්ධි අංශ සද්ද නැතිව හිටියා..! – ඇමති විජේපාලගෙන් හෙළිදරව්වක්.!

2135

ටී.එම්.වී.පී පක්ෂයේ නායක, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී පාස්කු ප්‍රහාරය පිළිබද පූර්ව දැනුවත්භාවයෙන් සිට ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

2019 අප්‍රේල් 20 වැනිදා පාස්කු ඉරිදා බෝම්බකරු වූ අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් ටාජ් සමුද්‍ර හෝටලයට ඇතුළු වී මිනිත්තු කිහිපයක් ඇතුළත හෝටලය විසින් රාජ්‍ය බුද්ධි සේවය වෙත විද්‍යුත් තැපෑලක් මඟින් දැනුම් දී ඇති බව මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල පැවසීය.

බෝම්බ ප්‍රහාරයට පෙර දින මෙය සිදුව ඇති බව කී අමාත්‍යවරයා මෙලෙස දැනුම් දීමක් ලැබී තිබුණද ජමීල් ආරක්‍ෂක නිරීක්ෂණ ලැයිස්තුවේ සිටියද රාජ්‍ය බුද්ධි සේවය එම තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අපොහොසත් වී ඇති බව පැවසුවේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් 250කට අධික පිරිසකගේ ජීවිත බිලිගත් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් එක් අයෙක් වන ජමීල්, මුලින් ටාජ් සමුද්‍ර හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවත් ඔහුගේ උත්සාහය අසාර්ථක වීමෙන් පසු ඔහු වෙනත් ස්ථානයකට මාරු වී ඇති බවත් වාර්තා වේ. ඔහු මියගියේ දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ සිදුවූ පිපිරීමකිනි.

මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් ඇමතිවරයා පැවසුවේ මේ වන විට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන කල් තැබීමේ විවාදයේදී අදහස් පළකරමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

”පිල්ලෙයාන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සිද්ධ වෙන අවස්ථාවේ මඩකලපු බන්ධනාගාරයේ ඔහු පූර්ව දැනුවත් භාවයකින් හිටියයි කියන එක සාක්ෂි, තොරතුරු මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. විමර්ශන ආශ්‍රයෙන්. නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසස් චන්ද්‍රකාන්ත් නොහොත් පිල්ලෙයාන් 2025.04.08 දින නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති සුබ්‍රමනියම් රවිනාත් අතුරුදහන් කිරීම, මඩකලපුව පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම, නීති විරෝධී ගිනි අවි භාවිතා කිරීම යන වැරදි යටතේ අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග මත රඳවා වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යනවා. මෙතෙක් සිදුකළ විමර්ශනවලදී පිල්ලෙයාන් 2019.04.21 වැනි දින වනවිට, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පර්යාසිංහම් මහතාගේ ඝාතනය පිළිබඳව මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි අතර පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මඩකලපුව බන්ධනාගාරයේ සිටිමින් ඔහු පාස්කු ප්‍රහාර පිළිබඳව පූර්ව දැනුවත් භාවයකින් සිටි බවට මේ වෙනකොට කරුණු අනාවරණය වෙලා තියෙනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!