BREAKING NEWS
Search

මිනිහෙකුට පුලුවන්ද තත්ත්පරයකට මීටර් 10ක් දුවන්න..? මිහිමත බිහි වූ වේගවත්ම මිනිසා ගැන ඇසෙන කතාව මෙන්න

2540

 

වෙඩිල්ල පත්තු උනා. ක්‍රීඩාගාරය ම ට්‍රැක් එක දිහා ඇස් දල්වන් බලා හිටියා. මංතීරු අටයි. ක්‍රීඩකයො අටයි. තරඟෙ ඇරඹුනා. ‘ටයිසන් ගේ‘ එක්ක ‘උසේන් බෝල්ට්‘ තමයි කරට කර දිව්වෙ. ටයිසන් ගේ දිව්වෙ එයාගෙ ක්‍රීඩා දිවියෙ හොඳම දිවිල්ලක්. හැබැයි උසේන් බෝල්ට්ව අල්ලන්න ඒක ප්‍රමාණවත් උනේ නෑ.

 

මේ 2009 මීටර් 100 ලෝක ශූරතාවයේ ෆයිනල් එක. ඒක තිබ්බෙ අගෝස්තු 16. අද වගේ දවසක. අදටත් ඒක තමයි ලෝක ඉතිහාසයේ දිවිල්ල!

 

බර්ලින් ප්‍රේක්ෂකාගාරය ‘හඬ සුනාමියක්‘ බවට පත් උනා. ඒ වෙද්දි මිහිමත හිටපු වේගවත් ම මිනිසා වූ 22 හැවිරිදි ජමෙයිකානුවා, උසේන් බෝල්ට් හිටියෙ එයා එක්කම තරඟෙක. මීටර් 80ක් ම දුවලා ඉවර උනාට පසුවත් උසේන් හිනා උනා. ඒක දුවන මැෂිමක්. හිනාවෙමින් දුවන මැෂිමක්. සීමා ඉර පන්නද්දි උසේන්ගෙ කාලය සටහන් උනේ තත්පර 9.58 ක් විදිහට.

 

ඒක ලෝක වාර්ථාවක්. කොයි තරම් ලෝක ද කියනවානම් අදටත් පෘථිවිය මත දුවපු වේගවත් ම දිවිල්ල ඒක. තාම රෙකෝඩ් එක කැඩිලා නෑ.

 

ටයිසන් ගේ තරඟය නිමා කෙරුවෙ මීටරයක් පිටිපස්සෙන්. අසාෆා පවෙල් ආවෙ තුන් වෙනියාට.

 

බෝල්ට් දුවපු දිවිල්ලෙ තරම කියන්න ඉහත විස්තරය මදි. හැබැයි පහත විස්තරය ඊට වඩා ප්‍රමාණවත්.

 

එදා දෙවැනියා උනු ටයිසන් ගේ තමයි අදටත් පෘථිවිය මත වේගයෙන් ම දුවපු ලිස්ට් එකේ දෙවැනියා. එදා තුන්වැනියාට දුවපු අසාෆා පවෙල් තමයි අදටත් වේගවත් ම ලිස්ට් එකේ හතරවැනියා. හැබැයි මේ දෙන්නා ම අද වෙද්දි ලැයිස්තුගත වෙලා ඉන්නෙ එදා හරියට ම මේ තරඟයේදි දුවපු ටයිමින් එක්ක නෙවෙයි. ඒ ළඟ ළඟ අවුරුදුවල වාර්ථා කරපු එයාලගෙ පර්සනල් බෙස්ට් ටයිමින් එක්ක. (මේ අය එක,දෙක,හතර උනේ වේගවත් ම ලිස්ට් එකේ ඉන්න පුද්ගලයො විදිහට. වේගවත් ම දිවිලි නම් 3ම තියෙන්නෙ උසේන් බෝල්ට් නමට)

 

කොහොම නමුත් උසේන් බෝල්ට් එදා පැරැද්දුවේ සදාකාලික දුවන මැෂින් දෙකක්. ඒ හින්දයි මේ තරඟය විශේෂ.

 

මේ තරඟයේ හයවැනියාට ආවෙ එංගලන්ත ක්‍රීඩක ඩ්වේන් චේම්බර්ස්. එයා තරඟෙ ඉවර වෙලා මාධ්‍යයට කිව්වා ‘ඉතිහාසයේ වේගවත් ම තරඟයේ දුවන්න හම්බ වෙච්ච එක ම සතුටක්‘ ය කියලා.

 

තරඟය දිනපු බෝල්ට් සීමා ඉරේ නැවතුනේ නෑ. ඔහු ප්‍රේක්ෂකාගාරයේ හඬ සුනාමිය අතරේ මුහුවෙමින් ඉදිරියට ඇදුනා. ප්‍රේක්ෂකයින් ඒ වෙද්දිත් දැනගෙන ඉන්න ඇති තමන් ඒ සියැසින් දකින්නෙ යළි කවදාවත් සිද්ධ නොවන ඓතිහාසික සිදුවීමක් බව.

 

සජීවී විස්තර විචාරකයා හිටියෙ මේ මොහොත විස්තර කරන්න වචන හොයමින්.

 

‘That is the most incredible piece of sprinting the world has ever seen’ තවත් මොන මොනවදෝ අතරේ ඔහු තමන්ගෙ අවංක විස්මය ඒ වචනවලින් එලියට දැම්මා. විචාරකයා හරි. එදා විතරක් නෙවෙයි තාමත් ඒක තමයි ඉසව්ව.

 

මේ ජයග්‍රහණය ගැන බෝල්ට් ම පසු කාලයක කිව්වෙ එයා සතුටු වෙන්නෙ තත්පර 9.4 ට දුවපු දවසට කියලා. ඒ දවස නම් කවදාවත් උදා උනේ නෑ. අදටත් බිඳින්න බැරි රෙකෝඩ් එකක් තිබ්බාට පස්සෙත් බෝල්ට්ට එතනින් එහා හීනයක් තිබුනු එක නම් හොඳ දෙයක්.

 

පළවෙනි කමෙන්ට් එකේ තියෙන පින්තූරයේ ඉන්නෙ 2009 ඒ ඓතිහාසික දිවිල්ල දුවලා ඒක සමරන උසේන් බෝල්ට්. ඩීජේ එකක විනෝදවෙන ගමන්. එයා එහෙමයි. බියර් එකක් බීලා ඩාන්ස් එකක් දාලා විනෝදවෙන්න නම් වයසට යනකන් ඉන්න බෑ කියලයි උසේන් බෝල්ට් කියන්නෙ. මහන්සි වෙලා වැඩ කරනවනම් මනස රිලැක්ස් කරගන්න. ඒ එයාගෙ වචන.

 

මේ තරඟය අභිබවා යන තරඟයක් ආයෙ එන්නෙ සියවසකින් හෝ සහශ්‍රයකින් වෙන්නත් බැරි නෑ. සමහරවිට හෙට අනිද්දා ම වෙන්නත් පුලුවන්. ඒක එහෙම උනොත් අපි මේ ජීවත් වෙන්නෙ මලල ක්‍රීඩා ඉතිහාසයේ හිනිපෙත්තෙ.

 

අදට මේ දිවිල්ලට අවුරුදු 16යි. ඉතින් අගෝස්තු 16 වැනිදාට මේ දිවිල්ල සිහි නොකෙරුවොත් අසාධාරණයි. මොකද උසේන් බෝල්ට් කියන්නෙ සදාකාලික සිහින දකින්නන්ට හොඳ උත්තේජනයක්. අනිත් එක මේ ඉවෙන්ට් එක තවදුරටත් ක්‍රීඩාවට අයිති නෑ. ඒක දැන් අයිති ශිෂ්ටාචාරයේ ඉතිහාසයට. වසර ලක්ෂ ගානක් තිස්සෙ මානව වර්ගයා විසින් රැකගත් ජාන කේතයට.

 

(ඡායාරූපය: “The දිවිල්ල”. 2009 අගෝස්තු 16 බර්ලින් හි ඔලිම්පික් ක්‍රීඩාංගනයේ පැවති ලෝක මලල ක්‍රීඩා මීටර් සියය අවසන් මහා තරඟයේදී. උසේන් බෝල්ට්-කහ, ටයිසන් ගේ-නිල්, අසාෆා පවෙල්-කහ.)

 

සටහන: ©️ Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!