BREAKING NEWS
Search

අපි හතර දෙනා අඩි 14ක් පමණ ගැඹුරු කානුවක වැඩ කරමින් හිටියේ – මාවනැල්ලේ සිද්ධිය ඇසින් දුටු ඔවුන්

2994

මාවනැල්ල, අලුත්නුවර මානික්කාව ප්‍රදේශයේ නිවසක පැති බැම්මක් ඉදිකිරීම සඳහා කපමින් තිබූ අඩි 14ක් පමණ ගැඹුරු අගලකට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (29) දිනයේදී ජීවිතක්ෂයට පත්විය. මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඔවුන් සිව්දෙනෙකු එම ස්ථානයේ සේවය කරමින් සිට ඇති අතර, ඉන් එක් අයෙකුගේ ජීවිතය අනූනවයෙන් බේරී තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල, ගල්අතර, පාට්ටගම පදිංචිව සිටි 63 හැවිරිදි පී.ජී. ජිනසෝම, එම ගම්මානයේම පදිංචි 40 හැවිරිදි එස්.පී. ලලිත් ප්‍රියන්ත සහ ගල්අතර, ඇපලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඩබ්ලිව්.ආර්. සිටි සංජීව නන්දසිරි යන අයයි. ඔවුන් නිවස ඉදිරිපිට මාර්ගයට ආසන්නව අත්තිවාරම සකසමින් සිටියදී ඊයේ (29) උදෑසන 9.00ට පමණ මෙම හදිසි අනතුරට මුහුණ පා ඇත.

සිද්ධිය වන මොහොතේ තමන්ට දැනුණු දිය පිපාසාවක් හේතුවෙන් අසල නිවසකට ජලය පානය කිරීම සඳහා ගොස් සිටි 44 හැවිරිදි යු.ඩබ්ලිව්.පී. ජයම්පති ජයරත්න මහතා මෙම මාරක අනතුරින් දිවි ගලවාගෙන තිබේ. තමන් නැවත පැමිණෙන විට විශාල ශබ්දයක් සමඟ පස් කන්ද කඩා වැටී අනෙක් තිදෙනා ඊට යටවනු තමන් දුටු බව ඔහු මහත් කම්පනයෙන් යුතුව ප්‍රකාශ කළේය. දින හතරක් පුරා ඔවුන් මෙම ස්ථානයේ එකට සේවය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඩබ්ලිව්.ඩබ්ලිව්. ප්‍රේමතිලක (56) මහතා මෙසේ පැවසීය.

 

 

අපේ නිවස අසලම පාර පැත්තට වෙන්න පැති බැම්ම බඳින්න කොන්ත්‍රාත් දුන්නා. අද උදේ අටට විතර වැඩ පටන් ගෙන කාණුව කප කපා ඉන්න කොට එක පාරටම සද්දයක් ඇහුණා. වෙලාව නවයට විතර ඇති. මම ගිහින් බලනකොට පස්කන්ද කඩා වැටිලා. එතැන හිටපු තුන්දෙනෙක් යට වෙලා, පස්සේ යාළුවන්ට අහල පහළ අයට කථා කරලා පැයකට කිට්ටු කාලයක් දැඩි වෙහෙසක් යොදා ගොඩගෙන රෝහලට ගෙන ගියා.

වතුර බීමට එළිමහනට ගොස් සිටි මාවනැල්ල කහකොටුව පදිංචි යු.ඩබ්. ප්යපති ප්යරත්න යන අය මෙසේ පැවසීය.

මමයි සංජීවයි අපි කට්ටිය කානු කපමින් හිටියේ දවස් හතරක් තිස්සේ වැඩ කළා. මට වතුර තිබහක් දැනුණ නිසා ගොඩට ඇවිත් වතුර ටිකක් ගේන්න අසල නිවෙසකට ගියා. අනෙක් තුන්දෙනා කාණුව කපමින් සිටියා. අපි බලාගෙන සිටියදීම ඉවුර කඩාන ආවා. එම පස් කන්දට තුන්දෙනා යට වුණා.

මම කානුව අස්සේ ඉදලා වතුර බොන්න උඩට ආවාට පස්සේ තමයි මේ සිදුවීමට මුහුණ දුන්නේ.

පස් කන්ද කඩා වැටීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්, මාවනැල්ල පොලිසිය, ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව පැය දෙකකට ආසන්න කාලයක් පුරා මෙහෙයුමක් දියත් කර යටවී සිටි පුද්ගලයන් ගොඩගනු ලැබීය. කෙසේ වෙතත්, ඔවුන් ගොඩගන්නා විටත් මියගොස් සිටි බව පොලිසිය තහවුරු කළේය. මියගිය තිදෙනාගේ දේහයන් මේ වන විට මාවනැල්ල රෝහලේ තැන්පත් කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් යූ.ඩබ්ලිව්. රූපසිංහ මහතා විසින් සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදී. මෘතදේහ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ අද (30) දින සිදුකිරීමට නියමිත අතර, ඉන් අනතුරුව දේහයන් ඥාතීන්ට භාර දෙන බව පොලිසිය සඳහන් කරයි. මාවනැල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *