BREAKING NEWS
Search

මුරුසියට පළායන්න පෙර ඉෂාරා ඇල්ලූ සති 6 මෙහෙයුම හා රහස් දන්නා ‘බායි’ සමග ඉදිරි විමර්ශන

1077

ගනේමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් රටින් පැන ගිය මහමොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි මාස අටකට පසු නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වූ අතර ඊයේ ඉෂාරා සෙව්වන්දි ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එනු ලැබීය.

මෙම මෙහෙයුම මුල සිට සැලසුම් කළ ආකාරය හා ඉදිරියේදී ‘බායි’ නමැති පුද්ගලයා මගින් ලබාගන්නා වැදගත් තොරතුරු ගැන පොලිසිය හෙලි කර තිබේ.
මෙම මෙහෙයුම සඳහා අසල්වැසි ඉන්දීය බුද්ධි අංශ සහාය ද ලැබී තිබීම විශේෂත්වයකි. බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායම විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී.

මුරුසි ජාතිකයක් ලෙස පලා යෑමට සැලසුම්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට අනුව, ඉෂාරා සෙව්වන්දි මුරුසි ජාතික කාන්තාවක් ලෙස ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කරගෙන මුරුසියට පැන්නීමට සැලසුම් කර තිබූ බව අනාවරණය වී ඇත. මෙම සැලසුම සකස් කර ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ නම් අපරාධකරු විසින් බවට සැක කෙරේ.
නේපාලයේදී ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය සතුව සොයාගන්නා ලද ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය සකස් කර දී ඇත්තේ ඇය සමඟ අත්අඩංගුවට ගත් ජේ.කේ. බායි නමැති පුද්ගලයා විසිනි. එම විදේශ ගමන් බලපත්‍රයට මුරුසියේ ආගමන විගමන නිල මුද්‍රා කිහිපයක් පමණක් තබා ඇය මුරුසියට යැවීමට සැලසුම් කර තිබිණි.

 

 

 

ජේ.කේ. බායිගේ භූමිකාව
යාපනයේ පදිංචිකරුවෙකු වන ජේ.කේ. බායි නිතර ඩුබායිහි රැඳී සිටින පුද්ගලයෙකි. අපරාධකරුවෙකු ලෙස නිල වශයෙන් ලේඛනගත වී නොතිබුණද, ඔහු මෙරට අපරාධකරුවන් රටින් පැන්නීමේ කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඔහුට ජාත්‍යන්තර මාෆියා කල්ලි සමඟ සම්බන්ධකම් තිබෙන බවද හෙළි වී ඇත.
විමර්ශනවලට අනුව, ඉෂාරා සෙව්වන්දි රටින් පැන්නීමට කෙහෙල්බද්දර පද්මේ විසින් ජේ.කේ. බායිට රුපියල් කෝටියක මත්කුඩු ලබා දී ඇත. ඉෂාරාට ඉන්දියාවට පලා යාම වෙනුවෙන් පමණක් කෙහෙල්බද්දර පද්මේ විසින් රුපියල් ලක්ෂ 65ක පමණ මුදලක් වියදම් කර ඇති අතර, පසුව ඇයගේ වියදම්වලට කෝටියකට අධික මුදලක් ලබාදී ඇතැයිද අනාවරණය වී ඇත.

සති හයක රහස් මෙහෙයුම
ඉෂාරා සෙව්වන්දි නේපාලයේ රැඳී සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව, ඇය කොටු කර ගැනීමේ රහස් මෙහෙයුම ක්‍රියාත්මක කරන ලද්දේ ශ්‍රී ලංකා පොලිසියේ ඉතා සීමිත නිලධාරීන් පිරිසක් සම්බන්ධ කර ගනිමිනි.
ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව මෙම මෙහෙයුම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අධීක්ෂණයෙන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට මහතා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැලසුම් කර තිබුණේ සති හයක කාලයක් තිස්සේය.
මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය, නේපාලයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වෙමින් මෙම මෙහෙයුම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගා ගෙන තිබිණි.

ඉෂාරා සෙව්වන්දි කොටු කර ගැනීම
මෙම මෙහෙයුමට ඩුබායිහි සිටින තවත් “බායි” කෙනෙකුගේ සහාය ද ලබා ගෙන තිබුණි. ඉෂාරා නේපාලයට ගෙන්වා රැකවරණය දුන් ජේ.කේ. බායි පිළිබඳ තොරතුරු දැන සිටියේ ඔහුය.
ඉෂාරා සෙව්වන්දි කොටු කර ගැනීමේ මෙහෙයුමට නේපාලයේ ප්‍රාදේශීය පොලිසියේ කණ්ඩායමක් ද සම්බන්ධ වී තිබුණි. රොහාන් ඕලුගල සහ ගිහාන් ද සිල්වා මුලින්ම කොටු කර ගත්තේ ජේ.කේ. බායිය. ඔහු රැඳී සිටියේ කත්මණ්ඩු නුවරට ආසන්න ස්ථානයක බස් නැවතුමකය.

ජේ.කේ. බායි අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඉෂාරා සෙව්වන්දි සිටින ස්ථානය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට හැකි වුවද, නිශ්චිත ස්ථානය හඳුනා ගැනීමට අමතර විමර්ශන සිදු කිරීමට සිදු විය. ඉෂාරා සෙව්වන්දිගේ ජංගම දුරකථන අංකය ඔස්සේ ජාල ගත විශ්ලේෂණයක් කරමින් සිදු කළ විමර්ශනයේදී, ඇගේ දුරකථනය ක්‍රියාත්මක වෙමින් තිබුණේ භක්තපූර් දිස්ත්‍රික්කයේ බව පෙනී ගියේය.
භක්තපූර් ප්‍රදේශයේ ජනාකීර්ණ, සංචාරකයන් ගැවසෙන ප්‍රදේශයක වර්ග මීටර් 800ක පමණ භූමි ප්‍රදේශයක දුරකථන සංඥා විහිදී ගොස් තිබූ බැවින්, ඉෂාරා සෙව්වන්දි සිටි නිශ්චිත ස්ථානය සොයා ගැනීමට ජේ.කේ. බායි ඇමතුම් ගනිමින් ඇයට මුදල් ලබා දීමට ස්ථානයකට පැමිණෙන ලෙස දැනුම් දීමේ උපක්‍රමයක් යොදා ගන්නා ලදී.
කෙසේ වෙතත්, ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගත්තේ නේපාල පොලිසිය විසින් ඇය නිවෙසින් පිටතට ඒමට සූදානම් වූ මොහොතේදීය. ඒ වන විටත් ශ්‍රී ලාංකික නිලධාරීන් කණ්ඩායම සිටියේ කිලෝමීටර් එකහමාරක පමණ දුරකිනි.

නේපාල මාධ්‍ය වාර්තා කළේ ඉෂාරා සෙව්වන්දි නේපාලයේ බක්තපූර් හි රැදී සිට ඇත්තේ ඉන්දියාවේ බැංගලූර් හි කාන්තාවක් ලෙසින් බවයි. ඇය ජේකේ බායි නැමැත්තා සමගින් සුඛෝපභෝගී මෙම නිවස කුලී පදනම මත නිවෙස් හිමිකරුගෙන් ලබාගෙන මාසයක කාලයක් එහි සිට තිබෙන බවද විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගැනුණු අනෙක් සැකකරුවන්

ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමත් සමඟම, ජේ.කේ. බායි විසින් නේපාලයට ගෙන්වා රැකවරණය ලබාදෙමින් සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගැනුණි. ඒ අතර සිටි කාන්තාව යාපනයේ පදිංචිකාරියක වන “තක්ෂි” නැමැත්තියි.

 

 

ඇය බැලූ බැල්මට ඉෂාරාගේ හැඩරුවට සමාන වූ අතර, ඉෂාරාගේ ඡායාරූපය හා දත්ත වාර්තා යොදාගෙන ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර ඉෂාරාව යුරෝපයට යැවීමට සූදානමින් සිට ඇත.

තක්ෂි සමඟ සිටි සුරේෂ් නම් පුද්ගලයා ද අත්අඩංගුවට ගනු ලැබීය. යාපනයේ පදිංචිකරුවෙකු වන ඔහු මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට චෝදනා ලැබූ අයෙකු වන අතර, කේරළ ගංජා ජාවාරමට ද සම්බන්ධ පුද්ගලයෙකි.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා වන්නේ නුගේගොඩ “බබී” සහ ගම්පහ “බබා”ය. බබී සහ බබා පාතාලයේ අපරාධකරුවන් වන අතර, මත්කුඩු ජාවාරමට ද සම්බන්ධ වූවෝය. නුගේගොඩ ජම්බුගස්මුල්ලේදී 2019 වසරේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමකට සම්බන්ධයෙන් බබී පොලිසියට අවශ්‍යව සිටි අතර, බබා කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයෙකු බව සඳහන්ය.මෙම අත්අඩංගුවට ගැනීම් අතර මුදල්දී පළායාමට මෙම සැකකරුවන් උත්සාහ කළ බවටද වාර්තා තිබේ.
සර් සර් මම රුපියල් ලක්ෂ 50ක මුදලක් දෙන්නම්.මාව අත්අඩංගුවට ගන්නෙ නැතිව නිදහස් කරන්න. නුගේගොඩ බබී පවසා ඇත.
කෙසේ වෙතත් රොහාන් ඕලුගල මහතා ඔහුගේ එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබුණ බව කියැවේ. ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ රොහාන් ඕලුගල මහතා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබු බව පැවසේ.
මෙම මෙහෙයුම සඳහා සහභාගී වූ රොහාන් ඕලුගල මහතා අදාළ මෙහෙයුමට නේපාලය බලා පිටත්ව ගොස් ඇත්තේ.
තමන්ට වෛරස් උණ රෝගය වැළඳී අසනීපව සිටින බවට ප්‍රචාරය කිරීමෙන් පසුවයි. ඔහුට ඇත්තටම වෛරස් උණ සැදී ඇති අතර එය සුවවූ නමුත් සුවවූ බව සගවා දුරකථන අංක සජීවීව පවත්වා එම අංක සහිත දුරකථන ලංකාවේ තබා ඔහු ගොස් ඇති අතර නේපාලයට ගිය පසු තානාපති කාර්යාල නිලධාරීන් ඔහුට උදව් කර ඇත.

පලා යාමේ මාර්ගය
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉෂාරා සෙව්වන්දි ගනේමුල්ලේ සංජීව ඝාතනයෙන් දින තුනක් මෙරට තුළ රැදී සිටිමින් සාප්පු සවාරිද ගොස් තිබෙන බවත් මතුගම හා මිද්දෙණිය ප්‍රදේශවල ගැවසෙමින් යාපනයට පැමිණ යාපනයේ සිට ගොස් ඉන්දියාව බලා පලාගොස් ඇති බවයි.
ඝාතනයෙන් අනතුරුව මතුගමට ගොස් තිබූ ඉෂාරා සෙව්වන්දි තමන්ව හඳුනා ගත නොහැකි වන අයුරින් හිස කෙස් කපා, මුහුණේ ස්වරූපයද වෙනස් කර මිද්දෙනිය ප්‍රදේශයට පලා ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා. බැකෝ සමන්ගේ උපදෙස් මත ඒ සඳහා ඇයට උදව් කර ඇත්තේ මාධ්‍යවේදියකු ලෙස වෙස්වලාගෙන පැමිණි සුපුන් නැමැත්තාය.
ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයකින් මිද්දෙනියේ සිට යාපනයට ගොස් තිබූ සුපුන් සහ ඉෂාරා සෙව්වන්දී එහි සිට බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පලා ගොස් ඇති බව එක්වාර්තාවකින් කියැවේ (බොට්ටුවෙන් යාම තවම පැහැදිලි කර නැත). ඔවුන් ඉන්දියාවට පැමිණ ඇත්තේ ජූලි 21 වැනිදාය. ඉන්දියාවේ සිට දුම්රියෙන් නේපාලය දක්වා ගොස් තිබ්බස් පාක් ප්‍රදේශයේ මහල් නිවාසයක සැඟව සිට ඇත.

මෙරටට ගෙන ඒම
ඉෂාරා සෙව්වන්දි ඇතුළු හයදෙනා ඔක්තෝබර් 13 වැනිදා සවස ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් මෙරටට ගෙන එනු ලැබීය.

මෙම පිරිස රැගෙන ඒම සඳහා එදින උදෑසන කාලයේදී මෙරටින් කත්මණ්ඩු ගිය ගුවන් යානයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙකු යවන ලදී.
ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් ගුවන් යානයේ ගමන් කරවීමේදී පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවට අමතරව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ආරක්ෂකයන්ගේද සහාය ලැබිණි. ඒ අතර කාන්තා ගුවන් ආරක්ෂක නිලධාරිනියක්ද සිටි බව සඳහන්ය.
ඉෂාරා සෙව්වන්දි ඇතුළු සිව් දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇති අතර සෙසු දෙදෙනා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාර දී තිබේ. නුගේගොඩ බබී නැමැත්තා භාර දී ඇත්තේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයටයි. ගම්පහ බබා නැමැත්තා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාර දී තිබේ.

වත්මන් තත්ත්වය සහ ඉදිරි විමර්ශන
රටින් පැන මාස 8කට පමණ පසු නැවත මෙරටට ගෙන එන ලද ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවන තොරතුරු මත ඉදිරි විමර්ශන සිදුවනු ඇත. මෙම මෙහෙයුමේදී ඉෂාරාටත් වඩා පොලිසියට වැදගත් වන්නේ ජේ.කේ. බායි බව සඳහන්ය. ඒ, පාතාල අපරාධකරුවන් බොහෝ දෙනෙකු රටින් පන්නමින් විදේශයන්හි රැකවරණය ලබාදීමට ජාත්‍යන්තර මාෆියා කණ්ඩායම් සමඟ සම්බන්ධකම් පවත්වා ඇත්තේ ඔහු වන බැවිනි.
ජේ.කේ. බායිගෙන් ප්‍රශ්න කර මෙම ජාත්‍යන්තර ජාලය හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාසයෙන් සිටින බව වාර්තා වේ.

එසේම ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇතැයිද විමර්ශන අංශ හෙළිකරගෙන ඇත. අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ඉෂාරා සෙව්වන්දී “ඕලුගල සර් යැයි කියමින් දිගු හුස්මක් පිට කර, මට හිතුනා කවදා හරි ඕලුගල සර් ඇවිත් මාව අත්අඩංගුවට ගනියි කියලා. මම මාස 07ක් තිස්සේ නේපාලයේ හිරවෙලා හිටියා, මට එපා වෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වඩා ලංකාවට යන එක සැපයි කියලා හිතුනා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙම හිටියා” යැයි ප්‍රකාශ කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම ජාත්‍යන්තර අපරාධ ජාලය පිළිබඳව විමර්ශන තවදුරටත් කරගෙන යන අතර ඉදිරියට හෙළිවන තොරතුරු ගැන කුත්හලයක් ඉතිරිකර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *