යුක්රේන යුද්ධය පවතින පසුබිමක, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය නවතම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ‘Burevestnik’ (බුරෙවෙස්ට්නික්) නම් කෲස් මිසයිලයේ පරීක්ෂණ සාර්ථකව අවසන් කළ බව නිවේදනය කර තිබේ.
රුසියානු සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වැලෙරි ගෙරසිමොව් විසින් ඉරිදා දිනයේදී මෙම පුවත තහවුරු කර ඇත. ජෙනරාල් ගෙරසිමොව් රුසියානු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ අදාළ මිසයිලය කිලෝමීටර් 14,000 ක් දුරක් ගමන් කළ බවත්, එය පැය 15 කට ආසන්න කාලයක් ගුවනේ පැවති බවත්ය.
නේටෝව විසින් ‘SSC-X-9 Skyfall’ ලෙස නම් කර ඇති මෙම 9M730 Burevestnik මිසයිලය, වර්තමාන සහ අනාගත මිසයිල ආරක්ෂණ පද්ධතිවලට එරෙහිව “අපරාජිත” එකක් බව ව්ලැදිමීර් පුටින් පවසා ඇත. මෙයට සීමාරහිත දුර පරාසයක් සහ අනපේක්ෂිත ගමන් මාර්ගයක් ඇති බවත්, “ලෝකයේ මෙයට සමාන වෙනත් කිසිවක් නොමැති” බවත් ඔහු සඳහන් කළේය.
ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳහන් කළේ, ජනාධිපති පුටින් ඒකාබද්ධ හමුදා කණ්ඩායම්වල අණදෙන මධ්‍යස්ථානයක් වෙත ගොස් ගෙරසිමොව් සහ අනෙකුත් අණදෙන නිලධාරීන් හමුවූ බවයි. එහිදී ජනාධිපතිවරයා යුද පෙරමුණේ තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කර ඇත.
ඉරිදා දිනයේදී සැඟවුම් නිල ඇඳුමකින් සැරසී සිටි ජනාධිපති පුටින්, ගෙරසිමොව් වෙත අවධාරණය කර ඇත්තේ ‘Burevestnik’ මිසයිලයේ තීරණාත්මක පරීක්ෂණ දැන් අවසන් බවත්, ඒවා සේවයේ යෙදවීමට පෙර අවසන් අදියරේ කටයුතු වහාම ආරම්භ කළ යුතු බවත්ය.
මෙම හමුවේදී, කුපියන්ස්ක් දිශාවට යුක්රේන සන්නද්ධ හමුදා සාමාජිකයින් 5,000 ක් දක්වාත්, ක්‍රස්නොඅර්මෙයිස්ක් දිශාවට සාමාජිකයින් 5,500 ක් දක්වාත් වටකර ඇති බවට කරුණු වාර්තා වී තිබේ.
gossip lanka news








