BREAKING NEWS
Search

“ඉඩකඩම් පවා දරුවන්ට ලියා දී මාස ගණනක් ගත කර ගිය සිරිපා ගමන ගැන ඔබ නොදත් කතාව මෙන්න…

166

 

ඉකුත් වසරේ දෙසැම්බර් මස යෙදුණු උඳුවප් පුර පසළොස්වක ‍පොහෝ දිනෙන් ආරම්භ වූ සිරිපා වන්දනා සමයට මේ වන විට පුරා මාසයකුත් දින කිහිපයකුත් ගත වී තිබේ. මේ අසිරිමත් සිරිපා වන්දනා සමය මේ වසරේ එළැඹෙන වෙසක් පුන් ‍පොහෝ දින දක්වාම පවතී. ඒ කාලය හරියටම මාස හයකි. නැතහොත් වසරෙන් භාගයකි. පුරා මාස හයක කාලයක් තිස්සේ දිවා රාත්‍රී දෙකෙහිම අඛණ්ඩව පවතින වන්දනා වාරයක් ලෝකයේ ඇත්නම් අපේ සිරිපා වන්දනා වාරයම පමණකි.

අදින් වසර දහස් ගණනකට පෙර බුදුපියාණන් වහන්සේ කැලණියට වැඩි ගමනේදී සුමන සමන් දෙවිඳුන්ගේ ඇරයුමින් සමන්ත කූටය මුදුනේ වම් ශ්‍රී පාද පද්මය පිහිට වූ බව මහා වංශය පෙන්වා දෙයි. එතැන් පටන් මේ දක්වාම රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ පටන් රටවැසියා දක්වා සියලුම තරාතිරමකම පිරිස් සමනළ කඳුමුදුන තරණය කරති. ශ්‍රී පාද පද්මය වැඳ පුදාගෙන මේ අසිරිමත් ගමනේ අත්දැකීම් ජීවිතයට එකතු කරගනිති.

අද මෙන් පහසුකම් නොතිබූ යුගයේ ඉතාමත් දුෂ්කර වන්දනා ගමනක් වූ ශ්‍රී පාද වන්දනාව පිළිබඳව පෙර රජවරුන් ද මෙරට පාලනය කළ විදේශීය ජාතිකයන්ද තබා ඇති සටහන් මේ ගමනේ පැවැති අති දුෂ්කර තත්ත්වය මොනවට කියාපාන්නේය. වන දුර්ග, ගිරි දුර්ග, ජල දුර්ග පසුකරමින් දිවි පරදුවට තබා එදා වන්දනාකරුවන් සිරිපා වන්දනාවේ යෙදුණ ආකාරය මෙරට කලක් පාලනය කළ සුදු ජාතිකයින් පවා විශ්මයට පත්කිරීමට සමත් වී තිබේ. අතීතයේ අපේ මුතුන් මිත්තන්ට සිරිපා වන්දනාව සඳහා තිබූ එකම පිළිසරණත්, පහසුවත් වී ඇත්තේ තෙරුවන් කෙරෙහි පැවැති ශ්‍රද්ධාවත් සමන් දෙවියන් කෙරෙහි පැවැති අචල විශ්වාසයත් බව විදේශිකයන් පවා පිළිගෙන තිබේ.

බට පන්දම් දල්වාගෙන, යකඩ දම්වැල්වල එල්ලෙමින් ඉතා පටු ගල්පඩි නැගගෙන සිරිපා කරුණා කළ වැඩිහිටියන් අතුරින් ඉතා සුළු පිරිසක් තවමත් අපේ ගම්වල දිවි ගෙවති. ඉතාමත් වයෝවෘද්ධ තත්ත්වයේ පසුවන ඔවුන්ගේ අත්දැකීම් විටෙක බිහිසුණුය, තවත් විටෙක පුදුම එලවන සුළුය. තමන් සතුව ඉඩකඩම්, හරක බාන, ගේ දොර, වතුපිටි ආදී හරු බස්සම දූ දරුවන්ට ලියා දුන් පැරැන්නෝ සමන්ගිර තරණයට සූදානම් වන්නේ තම ජීවිත ආශාවද අභියෝගයකට ලක්කරමිනි.

රත්නපුර එරත්නේ පදිංචි සිරිබෝහාමි මහත්මා පෙර සඳහන් කළ පරිදි බට පන්දම් දල්වාගෙන, දම්වැල්වල එල්ලී සිරිපා වන්දනාවේ යෙදුණු නඩේ ගුරෙකි. දැනට අසූපස්වන වියේ පසුවන හෙතෙම තම අතීත මතකය අවදිකරන්නේ මෙසේය.

ඒ කා‍ලේ අපේ ගම්වල උදවිය අවුරුද්දකට වතාවක් සිරීපාදේ වඳින්න යනවාමයි. ගොවිතැන් කටයුතු අහවර වෙලා අපි බොහොම පරිස්සමින් වන්දනා ගමනට පේ වෙනවා. මාස ගණනක් ගෙවල්වල පිළිහුඩු පිළීවත් උයන්නේ නැහැ. කැ‍ලේ ගිහින් කැකුන් ඉටි හොයාගෙන ඇවිත් පන්දම් හදාගන්නවා. උඩ මළුවේ පහන් පත්තු කරන්න තැඹිලි තෙල් හිඳ ගන්නවා. අලුත් වීවලින් විලඳ හදාගන්නවා. දොළොස්මහේ පහනට දමන්න වෙනම කොප්පරා සූදානම් කරගන්නවා.
පඬුරු වෙන් කරලා භාරහාර වෙලයි ගමන පටන් ගන්නේ. ලොකු ‍පොඩි හැමෝම තමන්ටම වෙනම සැහැල්ලුවක් (ගමන් මලු) හදාගන්නවා. හැම කෙනාම කුරුඳු තෙල් අරන් යනවා. ඒ මගදී දත් කැක්කුම්, කන් කැක්කුම්වලට ගාන්න. අලුතින් වන්දනාවට යන අය කෝඩුකාරයෝ. ඒ අතුරින් පුංචි අය කිරිකෝඩු. වයසින් වැඩි අය දඬු කෝඩු කියලයි හඳුන්වන්නේ. ගමන පටන් ගන්නේ ගමේ පන්සලට ගිහින් මල් පහන් පූජා කරලා දෙවියන්ට පින් දීමෙන් පස්සෙයි. ප්‍රධාන නීතිය කට පරිස්සම් කර ගැනීමයි. ගමනේ මුල ඉඳන්ම තුන් සරණේ හිමගත වර්ණනාව කියනවා. ඒ නිසා වෙනත් කතා බෑ. කට වරදිනවා අඩුයි. පනස් දෙවතාවක් සිරිපා වන්දනා කළ හෙතෙම අතීත සිරිපා වන්දනාව විස්තර කරන්නේ මහත් ආඩම්බරයක් මුසු හැඟීමකිනි.

ශ්‍රී පාද වන්දනාවට අතීතයේ පැවැති ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ ගමන් මාර්ග සඳහා ආලෝකය නොමැතිකමයි. ඊට මුලින්ම විසඳුමක් ලබාදී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බව ඉතිහාසගත තොරතුරු පෙන්වා දෙයි. සිරිපා මග දෙපස ආලෝකමත් කිරීම සඳහා දැවැන්ත ගිනිමැල දල්වන ලෙස රජතුමා සමන් දෙවි අඩවියේ වැසියන්ට නියෝග කර තිබේ. එසේ එක් ගිනිමැලයක් තිබූ ගම ගිලීම‍ලේ ලෙස අදටත් කුරුවිට ප්‍රදේශයේ තිබේ. එම ගිනි මැලයේ රස්නය වැදුණු ගම ඒ රස්නේ හෙවත් ඒ රත්නේ වී ඇති බවද ජනප්‍රවාදයේ පවතී. අදටත් කුරුවිට එරත්න ශ්‍රී පාද මාර්ගයේ ගිලීම‍ලේ හා එරත්න යන සමීපව පිහිටි ගම්දෙක මේ ජනප්‍රවාදයට සාක්ෂි දරයි. ශ්‍රී පාද උඩමළුවට එදා ආලෝකය ලබාදී ඇත්තේ උඩමළුවේ පිහිටුවා තිබූ දැවැන්ත දොළොස්මහේ පහන මගිනි. වන්දනාකරුවන් ගෙනවිත් දමන තැඹිලි තෙල් අබතෙල්, එළඟිතෙල් ආදිය හා කොප්පරා මගින් මෙම පහන අඛණ්ඩවම දැල්වී තිබූ බව පැරැන්නෝ පවසති. එමගින් උඩමළුවට ආලෝකය පමණක් නොව දැඩි සීතලද තරමක් දුරට පාලනය වී තිබේ.

අතීතයේ විසූ මුතුන් මිත්තන් තුන්සරණේ හා හිමගත වර්ණනාවේ කවි වන්දනා ගමනේදී මහ හඩින් ගායනා කර ඇත්තේ අරමුණු දෙකක් ඉටුකර ගැනීමටය. ඉන් එකක් ගමන් වෙහෙස නිවා ගැනීමය. අනෙක ගමන් මග අවුරාගෙන සිටින වන සතුන් පලවා හැරීමටය. ශ්‍රී පාද වන්දනාවේදී අකටයුත්තක් කට වැරදීමක් සිදුවූ තැන සමනළ අඩවියේ සිටින වන සතුන්ගෙන් දඬුවම් ලැබුණු අවස්ථා වැඩිහිටියන් අතර අදටත් කතාබහේ පවතී.
සිරිපා වන්දනා ගමනට පිරිස එකතු කරගැනීමේදී නඩේ ගුරා වඩාත් සැලකිලිමත් වන කරුණක් තිබේ. ඒ වැඩිවියට පත්වන වයසේ පසුවන දැරියන් කැටුව නොයාමයි. ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වන සිද්ධියද සිරිපා අඩවියේ හාස්කම් ඉස්මතු කරවන්නෙකි.

වරක් දැරණියගල ප්‍රදේශයෙන් පැමිණි වන්දනා නඩයක සිටි දැරියක් සමනළ අඩවියේදී වන්දනා ගමන අතරතුර වැඩිවියට පත් වී ඇත. නඩයේ සිටි වැඩිහිටි කාන්තාවන් කිහිපදෙනකු මෙම දැරිය ගජමන් සල නමැති ස්ථානයේ පිහිටි අම්බලම තුළට කැටුව ගොස් ආරක්ෂා කළ අතර සෙසු පිරිස නැවත ගමන ආරම්භ කර තිබේ. එහෙත් ගත වී ඇත්තේ ටික වේලාවකි. අම්බලම පිටුපසට කැලෑවෙන් මතු වූ කොටියෙකු වැඩිවියටපත් දැරිය ඩැහැගෙන ගොස් ඇත්තේ ආරක්ෂාවට සිටි වැඩිහිටි කාන්තාවන් කිහිපදෙනා අඳෝනා නගද්දීය.

අදටත් වැඩිවියට පත්වන වයසේ පසුවන දැරියක් සිරිපා වන්දනාවට යාමට සූදානම් වුවහොත් පෙර කී සිද්ධිය සිහිපත් කර ඇයගේ ගමන වැළැක්වීම රත්නපුර වැසින්ගේ සිරිතය. පෙර රජ දවස පටන් ශ්‍රී පාද වන්දනාවට යොදාගත් පැරණිම මාර්ගය වන්නේ රත්නපුර පලාබද්දල හරහා වැටී තිබෙන රජමාවතයි. එදා වන්දනාකරුවන් රජමහ පාර නමින් මේ මග හඳුන්වා දී තිබේ. අතීතයේ දකුණේ ජනතාවද මොරවක් කෝරළය හරහා සිංහරාජ වනාන්තරය අසබඩින් සූරියකන්ද පසුකොට රක්වානට පැමිණ මාදම්පේ, ගෝන කුඹුර, මල්වල ඔස්සේ පලාබද්දලට පැමිණ සමන්ගිර තරණය කර තිබේ. මේ අසිරිමත් ගමන පිළිබඳ දකුණේ ජනතාව අතර ගොඩනැගුණු ජනශ්‍රැති බොහෝය.

රජමාවතේ (රත්නපුර – ශ්‍රී පාද මාර්ගය) සිරිපා වන්දනා කිරීමේදී හමුවන සුවිශේෂී ස්ථාන මෙන්ම ඒ වටා ගෙතුණු රසකතා බොහෝය. සීත ගඟුල, ආඩියාමලතැන්න, පටු කිතුල, ලිහිණි හෙල, ධර්මරාජගල, පවනැල්ල ගෙත්තම් පාන, ඇහැල කණුව මහගිරි දඹේ එම සුවිශේෂී ස්ථානවලින් කිහිපයකි.
සීත ගඟුලෙන් නා පිරිසිදු වී පඬුරු බැඳීමත් ලිහිණි හෙ‍ලේ දී ලීනී අක්කාට හඬ ගැසීමත් රජ පාරේ වන්දනාකරුවන් සිදු කරන්නේ කෙදිනක සිටදැයි දන්නා අයෙක් නැත. බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද පද්මය පිහිටුවා පා ගමනින්ම පහළට වැඩිය බවත් එහිදී උන්වහන්සේගේ චීවරය කටු අත්තක පැටලී ඉරී ගොස් එය ගෙත්තම් කළ ස්ථානය ගෙත්තම් පාන ලෙසත් පැරැන්නෝ පවසති.

එම සිද්ධිය සංකේතවත් කිරීම සඳහා කෝඩුකාරයින් සිරිපා වන්දනා කරවීමේදී ඉඳිකටු, හා නූල් ගෙන ගෙත්තම් කරවීමත් නඩේ ගුරාගේ වගකීමකි. ධර්මරාජ නම් තාපසතුමෙකු බවුන් වැඩූ ස්ථානය ධර්මරාජ ගල ලෙසත් වන්දනාකරුවන් හැරමිටි ඔප්පු කළ ස්ථානය හැරමිටිපාන ලෙසත් හඳුන්වනු ලබයි. ශ්‍රී පාද ස්ථානය කලක් ආඩිගුරුන්ගේ පාලනයට යටත්ව තිබූ බවට සාක්ෂියකි ආඩියා මලතැන්න. දකුණේ ප්‍රකට කිවිඳියක වන ගජමන් නෝනා කිවිඳිය කලක් සමනළ අඩවියේ ජීවත් වූ ස්ථානය ගජමන් සල ලෙසත් ඇය විසූ ස්ථානය නෝනගේ අම්බලම ලෙසත් වන්දනාකරුවෝ හඳුන්වති.

අතීතයේ ශ්‍රී පාද උඩමළුවේ දොළොස්මහේ පහනට නුදුරින් කුඩා දිය ‍පොකුණක් තිබූ බවත් පැරැන්නෝ පවසති. එය දරු ‍පොකුණ නමින් හැඳින් වූ බවත් ජනවහරේ එයි. දරුවන් නොමැති කාන්තාවන් භාරහාර වීමෙන් පසු මෙම ‍පොකුණේ ජලය පානය කිරීමෙන් දරු ඵල ලැබුණු බව ජන විශ්වාසයකි. මෙම ‍පොකුණට දරු ‍පොකුණ යන නම ලැබි ඇත්තේ එබැවින් විය යුතුය.

අපේ මුතුන් මිත්තන් ඉඩකඩම් දරුවන්ට ලියා තබා ශ්‍රී පාද වන්දනා කළේ මේ ගමනට මාස කිහිපයක්ම එදා ගතවූ බැවින් වීමද තවත් කරුණකි. ඇතැම් පැරැන්නන් ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගැනීමෙන් පසු සමනළ අඩවියේ දින කිහිපයක් නතර වී තම ශ්‍රමය පූජා කොට ගල්පඩි ඉදිකරවීම, අත්වැට බැඳීම, ඒ දඬු පාලම් සකස් කිරීම ආදියේ නිරතවූ බව පැවැසේ.

අතීතයේ රත්නපුරය ඔස්සේ පාගමනින් සිරිපා වන්දනා කළ දකුණේ බැතිමතුන් සංඛපාල රජ මහා විහාරය, ඇත්තලවත්ත රජ මහා විහාරය, ගොඩකවෙළ රජ මහා විහාරය, පැල්මඩුලු රජ මහ විහාරය, අරමන් ‍පොල විහාරය, සබරගමු මහ සමන් දේවාලය, ‍පොත් ගුල් රජමහා විහාරය, මල්වල පන්සල, ගිලීම‍ලේ හා අංගම්මන විහාරය යන විහාරස්ථානද වැඳ පුදා ගත් බව ඉතිහාසගත තොරතුරු පෙන්වා දෙයි.

ශ්‍රී පාද වන්දනාවේ සමාජ විද්‍යාත්මක පැතිකඩක් වන්නේ දකුණු පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව සබරගමුවේ ජනතාව සමග ගොඩනගා ගත් ඇයි හොඳයිකම් අනුව අවාහ විවාහ චාරිත්‍ර පවා සිදුවීමයි. අතීතයේ පමණක් නොව අදටත් මේ සිරිපා ගමනේ දී ඇතිවූ දැන හැඳුනුම්කම් සමහරක් කෙළවර වී ඇත්තේ අවාහ විවාහ කටයුතුවලින් පසුවය. දකුණේ වැසියන් සබරගමුවේත් රත්නපුර වැසියන් දකුණේත් පදිංචිව සිටීමට හේතුව සොයා යන විට ඔවුන්ගේ පැටිකිරිය ආරම්භ වන්නේ ශ්‍රී පාද වන්දනා ගමනකිනි. ඒ අනුව බලන කල ශ්‍රී පාද වන්දනා ගමන හුදු වන්දනා ගමනක් පමණක්ම නොවන එය අපේ ජාතික ආගමික මෙන්ම සමාජ සංස්කෘතියේ ද සුවිශේෂී සාධකයක් බව කදිමට පැහැදිලිවේ.

උපුටා ගැනීමක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!