අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

25

සෞදි අරාබියේදී මරණ දඬුවම නියමවී සිටි අනෝජන් සිවරාසා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීම සඳහා මැදිහත්වීම පිළිබඳව ඒ මහතාගේ පවුලේ සාමාජිකයෝ අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය ස්තූතිය පළ කළහ.

එහිදී ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටීම තම වගකීම බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීම වෙනුවෙන් සෞදි අරාබි රජයට මෙන්ම, ඒ සඳහා ජාති, ආගම්, පක්ෂ, පාට ආදී කිසිදු භේදයකින් තොරව මැදිහත් වූ සියලුදෙනාටද විශේෂ ස්තූතිය හිමි විය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අනෝජන් සිවරාසා මහතා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔහුගේ දෙමාපියෝ ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්හ.

තම පුතණුවන් මරණ දඬුවමින් මුදා ගෙන සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීම සඳහා මුල සිටම මැදිහත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන්ටත්, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, සෞදි අරාබිය වෙත ගොස් නීතිමය වශයෙන් මැදිහත්වීම් සිදු කළ නීතිඥවරුන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ටත් අනෝජන් සිවරාසාගේ මව මෙහිදී සිය කෘතඥතාව පළ කළාය.

ජනාධිපතිවරයා පළමුවරට හමු වූ අවස්ථාවේදී ලබා දුන් පොරොන්දුව පරිදි අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව ස්තූතිය පළ කළ සමාජ ක්‍රියාකාරී රාජ්කුමාර් රජීව්කාන්ත් මහතා, මේ කාලසීමාව තුළදීම බංග්ලාදේශ ජාතික යුවළකට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සිදුවීම හේතුවෙන් අනෝජන් සිවරාසාගේ දෙමව්පියන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටි බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!