ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා තීව්‍ර වී ඇති අතර එය මඩකලපුවට ගිනිකොන දෙසින් කිලෝමීටර් 210 ක් පමණ දුරින් අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇත. එය ඉදිරි පැය 12 තුළ උතුරු-වයඹ දෙසට ආසන්නව ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇත.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා පවතින තද වැසි සහ තද සුළං තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළුවලින් බරව පවතිනු ඇති අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
උතුරු මැද, වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර උතුර, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර පළාත්වල සහ ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි ඇති විය හැකිය.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් (60-70) ක පමණ ඉතා තද සුළං අපේක්ෂා කළ හැකිය.
තද වැසි සහ තද සුළං මගින් සිදුවන හානි අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.







