ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට ‘අධි ගංවතුර’ තත්ත්වයක් ඇතිවීමේ අවදානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දැදුරුඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රසනායකපුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවය.
පසුගිය පැය 24 තුළ දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලෙමින් පවතින සැලකිය යුතු වර්ෂා තත්ත්වය හා දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු මගින් මේ වන විටත් තත්පරයට ඝණ අඩි 33,000 ක් තරම් ශ්‍රීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරිමින් පවතින බව එහි සඳහන් කර ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ, මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් යුතුව කටයුතු කරන ලෙස ය.
මේ අතර, කුඹුක්කන් ඔය ආශ්‍රිත පහත් බිම ප්‍රදේශවලට මෙතැන් සිට ඉදිරි පැය 12 ක කාලය තුළ ‘අධි ගංවතුර’ තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නක්කල, කුඹුක්කන, මාදුරු කැටිය යන ග්‍රාම නිලධාරි කොට්ඨාසවලට මෙන්ම බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඔක්කම්පිටිය හා ගාමිණිපුර යන ග්‍රාම නිලධාරි කොට්ඨාශවලට ද අයත් කුඹුක්කන් ඔය ආශ්‍රිත පහත් බිම ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතී.
එමෙන් ම, නිල්වලා, කැළණි ගඟ, බදුලු ඔය, මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාව ද පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Source – Mawbima







