රජය මගින් මෙවර යල කන්නයේ මිලදී ගත් වී තොග සහල් බවට පත් කිරීමේ දී රුපියල් මිලියන 200කට වැඩි දැවැන්ත වංචාවක් සිදුවීමට ආසන්න බව ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ ජාතික සම්මේලනයේ කැඳවුම්කරු මුදිත පෙරේරා පැවැසීය.
ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය විසින් පොළොන්නරුවේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
මේ වන විට රජය සතුව වී මෙට්‍රික් ටොන් පනස්දාහකට ආසන්න ප්‍රමාණයක් ගබඩා තුළ පවතින බවත්, එම වී තොගය සහල් බවට පත් කිරීම සඳහා මේ වන විට ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) විසින් ටෙන්ඩර් කැඳවා තිබෙන බවත්, එම වී තොග සහල් බවට පත් කිරීමේ පූර්ණ හිමිකාරිත්වය මහා පරිමාණ මෝල් හිමියන්ට පමණක් පවරා කොන්දේසි පනවා ඇති බවද ඔහු පැවැසීය.
මෙම කොන්දේසිය නිසා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට රජයේ වී තොග සහල් බවට පත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධවීමට අවස්ථාවක් ලැබී නැතැයි ද ඔහු කීවේය.
රජය සතු නාඩු වී කිලෝ ග්‍රෑම් 100 කින් සහල් කිලෝ 65 ක් පසුගිය කාලයේ නිෂ්පාදනය කර ඇත. සතොස සභාපතිවරයා හිතාමතාම මෙවර එය කිලෝ 63 ක් දක්වා අඩුකර තිබෙන බවත්, ඔහු එය සිදුකර ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව බවත්, මේ නිසා මහා භාණ්ඩාගාරයට අතිවිශාල මුදලක් අහිමිවන බව ද මුදිත් පෙරේරා පැවැසුවේය.
රජය සතුව මේ වන විට පවතිනුයේ ලංකාවේ සමස්ත පරිභෝජනයෙන් දින පහකට ප්‍රමාණවත් වී තොග බවත්, එම තොගය ද මහා පරිමාණ සහල් මෝල් හිමියකු සතු කිරීම ඉතාමත් අමනෝඥ ක්‍රියාවක් බව ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ ජාතික සම්මේලනයේ නියෝජිතයෝ පවසති.
රජය තවදුරටත් මහා පරිමාණ මෝල් හිමියන්ට පමණක් රජයේ වී තොග සහල් බවට කිරීමේ අවස්ථාව ලබා දෙන්නේ නම් ඉදිරියේදී සතොස ආයතනය වෙත සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් විසින් සිදු කරනු ලබන සහල් සැපයුම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවත් ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ ජාතික සම්මේලනයේ කැඳවුම්කරු මුදිත පෙරේරා කීවේය.
– රසංග නිරෝෂන්
අරුන