BREAKING NEWS
Search

පන්සලේ බඩු ලොරියක පටවා සිවුරු හැර කලිසමක් ඇඳ පළායන්න හැදූ හිමි නම අත්අඩංගුවට

2362

පොල්පිතිගම, ඓතිහාසික ගනේකන්ද මණ්ඩලාරාම විහාරස්ථානයේ වැඩ සිටි තරුණ භික්ෂූන් වහන්සේ නමක් එම විහාරස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා දේපළ සොරකම් කර, සිවුරු හැර පළා යමින් සිටියදී පොල්පිතිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුදබිම මලියදේව මහ රහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.

 

සැකකාර හිටපු හිමිනම සොරකම් කරන ලද බඩු බාහිරාදිය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සොරකම් කරන ලද දේපළ ප්‍රවාහනය කිරීමට යොදාගත් ලොරි රථය සමග ඊට ආධාර අනුබල දුන් එහි රියැදුරා ද පොලිස් භාරයට ගෙන තිබේ.

 

 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, විහාරස්ථානයේ මහියංගණයේ නාහික හිමි නමින් වැඩ සිටි මෙම තැනැත්තා සිවුරු හැර කමිසයකින් සහ කලිසමකින් සැරසී වෙස් වළාගෙන සිටි බව පොලීසිය පවසයි. සොරකම් කරන ලද බඩු භාණ්ඩ තොගයෙන් කොටසක් ද එම ලොරි රථයේ තිබී සොයාගෙන ඇත.

මෙම විහාරස්ථානයේ තිබූ තායිලන්තයේ නිෂ්පාදිත අටපිරිකර ඇතුළු වටිනා පූජා භාණ්ඩ රැසක් සොරකම් කරගෙන ගොස් ඇති බවට ඉකුත් 10 වැනිදා පොල්පිතිගම පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

සැකකරුවන් ඊයේ (21) දින මහව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.පී.කේ. ගාල්ලගේ සහ මහව සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් ගාල්ලගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත, පොල්පිතිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරී කණ්ඩායමක් මෙම වැටලීමට එක්වූහ. සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!