BREAKING NEWS
Search

දලදා පෙරහැර බලන්න ආසනයක් ලක්‍ෂයයි.. බිම් කඩක් කෝටියයි…

1277

lanka C news
කමල් සුරවීර – මහනුවර

මහනුවර ඇසළ පෙරහර නැරඹීමේ ආසන ටිකට්පත් ඇතැම් පුද්ගලයන් රුපියල් 50000ත් රුපියල් 65000ත් අතර මිලකට අලෙවි කරන බවට අනාවරණය වේ. පෙරහර සමයේ ආසන මිල ගණන් නියාමනය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් අවසන් රන්දෝලි පෙරහර සඳහා ආසනයක් රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ යා හැකි බව මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක පැවසීය.

මහනුවර නගර සංචාරක ප්‍රවර්ධනය පිළිබඳ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී නගරාධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

“මහනුවර රැජින හෝටලය කොරිඩෝවේ පෙරහර නැරඹුම් ආසන කොටසක් පමණක් මහ නගර සභාවෙන් අලෙවි කරනවා. ඒ රුපියල් 12000, 15000 හා 18000ක් වැනි මුදලකට. අපි මේවා අලෙවි කරන්නේ අන්තර්ජාලය හරහා. මේ ටිකට් අලෙවිය අන්තර්ජාලය හරහා ආරම්භ කළ අවස්ථාවේම ඇතැම් පුද්ගලයෝ ටිකට්පත් 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නවා. මේ මිලදී ගැනීම් අපි සීමා කරලා නෑ. එහෙම කරන්නත් බෑ. ඉන්පසු මේ අය පෙරහර සමයේදී මේ ටිකට් ඉතා අධික මිලකට විකුණනවා. මේ ටිකට් අලෙවි කිරීම සම්බන්ධයෙන් මිල තීරණයක් නෑ. මිල පාලනයක් නෑ. නියාමනයක් නෑ.

පෙරහර සමයේ මහනුවර නගරයේ ව්‍යාපාරික ආයතනවල බොහෝ ස්ථාන මේ ආසන පනවන්නන් හට යම් මුදලකට බදු දීම පෙර සිටම සිදුවෙනවා. ඇතැම් අය මේ ව්‍යාපාර ස්ථානවල අදාළ පරිශ්‍ර ලබාගන්නේ රුපියල් ලක්ෂ 50ත් 100 අතර මුදලකට බව අපිට තොරතුරු ලැබී තිබෙනවා. ඉන්පසු ඒ අය පෙරහර නැරඹීමේ ටිකට් තමන්ට සිතූ සිතු ගණන්වලට අලෙවි කරනවා. වැඩි මිලට විකුණලා තැරැව්කරුවන් කීපදෙනෙක් අතරේ ඉතිරි මුදල බෙදිලා යනවා. කීපදෙනෙක් මේ පෙරහර ආසන මාෆියාව හැමදාම ක්‍රියාත්මක කරනවා” යැයිද ඔහු කීය.

– Aruna




Leave a Reply

Your email address will not be published. Required fields are marked *