මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේදී පසුගියදා කුරිරු ලෙස ඝාතනයට ලක් වූ ‘අඹබෝ’ නමින් හැඳින්වූ වන අලියාට යුක්තිය සහ සාධාරණය ඉටුවිය යුතු බවත්, අලි-මිනිස් ගැටුම නතර කිරීමට රජය කඩිනම් විසඳුමක් ගත යුතු බවත් පවසමින් පරිසර හා සත්ත්ව සංවිධාන කිහිපයක පුද්ගලයන් පිරිසක් ඊයේ (24දා) උදෑසන අනුරාධපුර අධිකරණ සංකීර්ණය ඉදිරිපිටින් දිවෙන අනගාරික ධර්මපාල මාවත අසලට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත වූහ.
ඊට සමගාමීව, එම වන අලියා වෙනුවෙන් නොමිලේ පෙනී සිටීම සඳහා නීතිඥවරුන්ගේ කණ්ඩායමක්ද කොළඹ ප්‍රදේශයේ සිට පැමිණ සිටියහ.
එම වන අලියා පුලුස්සා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන, මීට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙරේදා (24දා) උදෑසන යළි එම සැකකරුවන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී මෙම විරෝධතාව පැවැත්විණි.
මෙහිදී “සතුන් වෙනුවෙන් අපි” සංවිධානය නියෝජනය කරමින් සෙව්වන්දි පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය.
“පරිසර හා සත්ත්ව සංවිධාන රාශියක් එකතු වෙලා සිදු කරන මේ නිහඬ විරෝධතාවයේ මූලික අරමුණ වෙලා තියෙන්නේ කවුරුත් දන්න මෑතකදී කුරිරු ලෙස ඝාතනය කෙරුණු මිහින්තලේ, සීප්පුකුලම වන අලියා වෙනුවෙන් නීතියේ සාධාරණය ඉල්ලලා. අපි මේ නිහඬ විරෝධතාව පවත්වලා බලාපොරොත්තු වන්නේ මෙම වන අලියාට මේ අපරාධය කළ අයට දඬුවම් ලැබී යුක්තියේ සාධාරණය ඉෂ්ට වෙයි කියලා.
මේ වසරේ මේ වන විට අලි හාරසියයක් පමණ මියගොස් තිබෙනවා. ඉන් වැඩි ප්‍රමාණයක් ඝාතනයට ලක් වූ වන අලි. මේක නොනවත්වා යන රැල්ලක් විදියට සිද්ධ වෙනවා. අලි ඇතුන් කියන්නේ අපේ රටට ආර්ථිකය ශක්තිමත් කරන ඩොලර් මැෂින්.
අපේ සංස්කෘතිය ගත්තත්, අපේ දළදා වහන්සේ වඩම්මවන පරම්පරාව නියෝජනය වන්නේත් අලි ඇතුන්ගෙන්. මේ අලි සම්පත රැක ගත යුතුම සම්පතක් විදිහට තමයි අපි දකින්නේ. ඒ නිසා අලි – මිනිස් ගැටුම නතර කිරීම සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසත් අපි ඉල්ලා සිටිනවා.”
“යුක්තියේ අඬහැරය” සංවිධානයේ සභාපතිනි විරාජිනී ධර්මදාස මහත්මිය මෙසේ පැවසුවාය.
“අද පරිසර සංවිධාන ගණනාවක් නියෝජනය කරමින් විශාල පිරිසක් මෙතනට ඇවිත් ඉන්නේ ජාත්‍යන්තර වශයෙන් අපේ රට ලොකු අපකීර්තියකට පත් කළ, ඉතාමත් කුරිරු විදියට වන අලියකු ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්. ජාත්‍යන්තර වශයෙන් මෙය විශාල ප්‍රසිද්ධියට පත්ව තිබෙන මේ අවස්ථාවේදී අපි ඒ සත්ත්වයා වෙනුවෙන් පෙනී සිටිනවා.
මොකද මිනිස්සුන්ගේ පාර්ශ්වයෙන් කතා කරන්න හැකියාව තිබුණට සත්තු නිහඬයි. එයාලට හඬක් නැහැ. එම නිසා අපි ඒ වන අලියාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිනවා. ගරු අධිකරණය ඉදිරිපිටට පැමිණලා බලාපොරොත්තු වෙන්නේ එම වන අලියා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වෙයි කියන බලාපොරොත්තුවයි. මේ වන විට ඉතාමත් කුරිරු විදියට අලි ඇතුන් ඝාතනය වෙනවා. රජයේ යම්කිසි වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. අලියාගේ ගැබ් කාලය කියන්නේ අවුරුදු දෙකක් වගේ දීර්ඝ කාලයක්. අලි උපත් අඩුයි, මරණ සංඛ්‍යාව වැඩියි. වටිනා සත්ත්ව සම්පතක් අහිමි වෙමින් යද්දී අපි නිහඬව බලා ඉන්න එක මනුෂ්‍යත්වයට නිගාවක්. ඒ නිසයි අපි මේ විදිහට මැදිහත් වෙන්නේ.
අපි කියන්නේ, වන අලි නිසා දුක් විඳින මිනිස්සුත්, මිනිස්සු නිසා දුක් විඳින අලිත් යන දෙපාර්ශ්වයටම ඉක්මනින් රජය මැදිහත් වෙලා සර්ව සාධාරණයක් ඉෂ්ට කළ යුතුයි කියලා. ඒ වගේම සතකුගෙන් කොයි තරම් කරදරයක් වුණත්, මිනිස්සුන්ට මේ විදිහට ම්ලේච්ච විදියට හැසිරෙන්න පුළුවන්ද කියන ගැටලුව අපට තිබෙනවා. දිගින් දිගටම මේ විදිහට අවස්ථාව දුන්නොත්, එහෙම ලොකු සමාජමය ගැටලුවක් වෙයි මේ මානසිකත්වය අනිත් අයත් ප්‍රගුණ කළොත්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ සමාජය මේවට නැඟී සිටිය යුතුයි කියලා. රජයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා ඉතා ඉක්මනින් පිළියමක් ගනියි කියලා.”
මෙම විරෝධතාව පැවැත්වූ ස්ථානයට මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන, පාහියන්ගල ආනන්ද සාගර යන හිමිවරුද වැඩම කර සිටියහ.
අනුරාධපුර සංචාරක – බී.ජී. චතුරංග
අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ
Source – Dinamina







