අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 31.5ක (අමෙරිකානු ඩොලර් 10,500) මූල්‍යාධාරයක් ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදයේ පිට්ස්බර්ග් බෞද්ධ විහාරය සහ ක්ලීව්ලන්ඩ් බෞද්ධ විහාරය පියවර ගෙන තිබේ.
පිට්ස්බර්ග් සහ ක්ලීව්ලන්ඩ් බෞද්ධ විහාරස්ථාන, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන්, මේ විහාරස්ථානවල ප්‍රධානාචාර්ය, ආචාර්ය සුරක්කුලමේ පේමරතන හිමියන්ගේ නායකත්වයෙන්, ආරාමයේ භික්ෂුන් වහන්සේ සහ පරිත්‍යාගශීලී ප්‍රජාව තානාපති කාර්යාලයේ සහන අරමුදලට අමෙරිකානු ඩොලර් 5,000ක් පරිත්‍යාග කර තිබේ. ක්ලීව්ලන්ඩ් බෞද්ධ විහාරස්ථානය ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදලට ඍජුවම අමෙරිකානු ඩොලර් 5,500ක් පරිත්‍යාග කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මේ විහාරස්ථානවල නායකත්වය යටතේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහයෝගය ඇතිව පරිත්‍යාග කරන ලද මුළු මුදල අමෙරිකානු ඩොලර් 10,500ක් වන අතර, ඊට අමතරව ශ්‍රී ලංකා රොටරි සමාජය විසින් සිදු කරන පානීය ජල ළිං පිරිසුදු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියකට පිට්ස්බර්ග් බෞද්ධ විහාරය අමෙරිකානු ඩොලර් 3,584ක මුදලක් පරිත්‍යාග කර ඇත.
Source – Dinamina (මහින්ද අලුත්ගෙදර)







