විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ අරමුණින් ආණ්ඩුව රට පුරා ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ උතුරු පළාත් වැඩසටහන සඳහා පමණක් රුපියල් කෝටියකට අධික මුදලක් වැය වී ඇති බව තොරතුරු හෙළි කරයි.
යාපනයේ නිදහස් මාධ්‍යවේදී ස්වර්ණලිංගම් වර්ණන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබාගත් දත්ත අනුව, 2026 ජනවාරි 16 වැනිදා යාපනය තාක්ෂණ විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට රුපියල් 1,10,79,075.00ක් වියදම් කර ඇත. මෙම වැඩසටහනට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වය දැරීය.
වියදම් විස්තර අනුව වැඩිම මුදල වැය වී ඇත්තේ ශාලා පහසුකම් සඳහාය. ඒ සඳහා රුපියල් 52,37,000ක් වැය කර තිබේ. එසේම, ජනතාව කැඳවීම සඳහා බස් යොදවා තේපැන් සංග්‍රහයක් පැවැත්වීමටද කෝටි බාගයකට ආසන්න මුදලක් වැය වී ඇත.
තේපැන් සංග්‍රහයට රුපියල් 31,13,233ක් වැය කර ඇති අතර, සහභාගී වූ ජනතාවගේ ප්‍රවාහනය සඳහා රුපියල් 23,43,885ක් වෙන් කර ඇත. උත්සවය සූදානම් කිරීම සඳහා රුපියල් 1,18,940ක්, බැනර් සඳහා රුපියල් 51,700ක්, පානීය ජලය සහ වැසිකිලි පහසුකම් සඳහා රුපියල් 36,890ක්, පිළිගැනීමේ කටයුතු සඳහා රුපියල් 23,375ක්ද වැය කර තිබේ. අනෙකුත් වියදම් ලෙස රුපියල් 1,54,052.50ක් සටහන් වේ.
මෙම වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, යුද්ධ සමයේ දරුවන් ගැන බියෙන් ජීවත් වූ උතුරේ මව්පියන්ට අද මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් නැවතත් එම බිය මුහුණ දීමට සිදුව ඇති බවයි.
සිංහල, දෙමළ, දුප්පත්, පොහොසත් යන කිසිදු භේදයකින් තොරව සමාජය පුරා පැතිරෙන මෙම විෂ මත්ද්‍රව්‍ය උවදුරින් තරුණ පරපුර බේරා ගැනීම සඳහා ආරම්භ කළ ජාතික ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, සමාජයක් ලෙස සියලුදෙනා එක්ව මහා ආරක්ෂක වළල්ලක් ලෙස ක්‍රියා කරමින් මෙම උවදුරට එරෙහිව කැපවෙන ලෙසද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.(Ape Rata)







