කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට නව විදුලි සැපයුමක් ලබා දීම සඳහා ගෙන එන ලද විදුලි රැහැනක කොටසක් සොරකම් කිරීමේ චෝදනාව මත සැකකරුවන් දෙදෙනකු කෙසෙල්වත්ත පොලිසිය විසින් (21) දින අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 28 සහ 30 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් බෙලිඅත්ත සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදුකරන චීන සමාගමක සේවය කරන විදුලි කාර්මිකයකු විසින් කෙසෙල්වත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත. සැකකරුවන් මීට පෙර එම ගොඩනැගිලි පරිශ්‍රයේම සේවය කර ඇති අතර, ඔවුන් මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වූවන් බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
අලුත්වැඩියා කටයුතු සඳහා ගෙනැවිත් තිබූ විදුලි රැහැන් සවි කිරීමෙන් අනතුරුව ඉතිරි වූ කොටසක් මෙම සැකකරුවන් විසින් සොරකම් කර විවිධ ස්ථානවලට විකුණා ඇති බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මැදකොළඹ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්. කුමාරසිංහ මහතාගේ උපදෙස් මත, කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනුරුද්ධ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
gossip lanka news










 
                                                                    







