මෙරට විශාල මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ඔත්තුකරුවෙකු ඝාතනය කර, ඔහුගේ හිස විමර්ශනය කළ පොලිස් නිලධාරියෙකුගේ නිවස ඉදිරිපිට තැබීමට සැලසුම් කළ බවට හෙළිවූ සිද්ධියක් සම්බන්ධයෙන් කුලී ඝාතකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසිනි.
පසුගිය වසරේ නොවැම්බර් 12 වනදා කිරින්ද මුහුදු වෙරළ ආසන්නයෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය භාරයට ගනු ලැබූ අතර, එය සිදුකර තිබුණේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට ලැබුණු රහසිගත තොරතුරකට අනුව කළ මෙහෙයුමකදීය. එම මෙහෙයුමේදී සැකකරුවන් 7 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූයේ එම මත්ද්‍රව්‍ය තොගය මේ වන විට ඩුබායිහි සැඟව සිටින ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “අංගොඩ ප්‍රියන්ත” නමැත්තාට අයත් බවයි. මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගැනීමත් සමඟ ඔහු දැඩි වෛරයකින් පසුවී ඇති බවද වාර්තා වේ.
ඊට පසුව, මෙම වැටලීමට තොරතුරු ලබාදුන්නේ කවුරුන්ද යන්න සොයාගැනීමට ඔහු කටයුතු කර ඇති අතර, ඔත්තුකරු හඳුනාගැනීමෙන් අනතුරුව ඔහු ඝාතනය කර ඔහුගේ හිස රොහාන් ඕලුගල මහතාගේ නිවසට යැවීමට අපරාධ කල්ලියකට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
එහෙත්, පාතාල කල්ලිය තමන් පිළිබඳ තොරතුරු සොයමින් සිටින බව දැනගත් ඔත්තුකරු නිවස අතහැර පලා ගොස් තිබේ.
මෙම සැලැස්ම පිළිබඳව බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු රහසිගත තොරතුරක් මත කොන්ත්‍රාත්තුව භාරගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සමස්ත ඝාතන සැලැස්ම පිළිබඳව තවත් තොරතුරු අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින අතර, සම්බන්ධිත අනෙකුත් පුද්ගලයින් හඳුනාගැනීමට පරීක්ෂණ කටයුතු තවදුරටත් විහිදී යමින් තිබේ.(Ape Rata)







