BREAKING NEWS
Search

බැසිල් සර් US ඉඳන් මෙහෙ එන්න ටිකටුත් බුක් කරා එත් ආපහු ලෙඩවුණා – ලෝයර් කියයි

25

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ගමන් බලපත්‍ර වෙන් කරවා ගෙන තිබුණ ද පසුව ඒවා අවලංගු කර ඇති බව අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය. අයථා ලෙස උපයා ගත් මුදල් යොදවා මාතර, බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු හෙළිදරව් කෙරිණි.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අමතරව ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති,

ඇයගේ සැමියා වන තිස්ස ගලප්පත්ති සහ මුදිත ජයකොඩි යන අය නම් කර ඇත. නඩුව කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ සහ අයෝමා ගලප්පත්ති යන මහත්ම මහත්මීන් විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ ඔවුන්ගේ ඇපකරුවන් පමණි.

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සිය සේවාදායකයාගේ රෝගී තත්ත්වය තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තා කිහිපයක් ඇතුළත් ලේඛනයක් මෙහිදී අධිකරණයට ඉදිරිපත් කළේය.

එම වාර්තා අධ්‍යයනය කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට පෙන්වා දුන්නේ සැකකරුගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවල යම් යම් පරස්පරතා පවතින බවයි.

නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවියගේ කරුණු දැක්වීම :

“ස්වාමීනි, මෙම නඩුවේ තුන්වන සැකකරු වන බැසිල් රාජපක්ෂ මහතා මෙම නඩු කටයුත්ත සඳහා අවසන් වරට අධිකරණය හමුවේ පෙනී සිට ඇත්තේ 2024 සැප්තැම්බර් මස 18 වැනිදා යි. ඒ කියන්නේ ස්වාමීනි, මෙම සැකකරු මෙම නඩු කටයුත්තට මේ වන විට වසරකට වැඩි කාලයක් අධිකරණයේ පෙනී සිට නෑ. ඔහු නොමැති නිසා මෙම නඩු කටයුත්ත කල් යනවා. පසුගිය නඩුවාරයේදී පූර්වගාමී විනිසුරුවරයා සැකකරුගේ ඇපකරුවන්ට නියෝග කළේ, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.

එදින නඩුවාරයේදී වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, සැකකරු හදිසියේ පුටුවකින් ඇද වැටී සිදුවූ අනතුරක් හේතුවෙන් ඔහුගේ හිසෙහි සහ බෙල්ලේ ස්නායු ආබාධයක් හටගෙන ඇති බවයි. එදින ඉදිරිපත් කළ එක්ස්-රේ (X-ray) වාර්තාවලට අනුව සැකකරුගේ අස්ථි බිඳීමක් (භග්නයක්) සිදුවී නැති බව පැහැදිලියි.

එදා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ අද දින සැකකරු අධිකරණයට පැමිණෙන බවයි.

 

ස්වාමීනි, මේ සැකකරු පුටුවෙන් වැටී හිසෙහි සහ බෙල්ලේ ස්නායු ආබාධයකට ලක්ව සිටින බවට වෛද්‍ය වාර්තා නිකුත් කර තිබුණේ ජෝර්ජ් චිඩී නම් වෛද්‍යවරයෙක්. එහෙත් අද දින එම වෛද්‍යවරයාගේම ලිපි ශීර්ෂය යටතේ, සැකකරු ‘ලෙෆ්ට් සයිඩ් සයාටිකා’ (Left-side Sciatica) හෙවත් වම් පස හිරිවැටීමේ රෝගයකින් පෙළෙන බවට කරුණු දක්වා තිබෙනවා.

මෙම වෛද්‍ය වාර්තා එකම වෛද්‍යවරයෙකු විසින් නිකුත් කළ වාර්තා වුවත්, ස්වාමීනි මෙම වෛද්‍ය වාර්තාවන්හි ලිපි ශීර්ෂ බැලූ බැල්මට එකිනෙකට වෙනස්. ඒ වගේම ජෝර්ජ් චිඩී නම් මෙම වෛද්‍යවරයා සෑම වාර්තාවකම සැකකරුගේ රෝග ලක්ෂණ ගැන පමණක් දක්වමින් ඔහුට ගුවන් ගමන් නුසුදුසු බවට නිර්දේශ කර තිබෙනවා.”

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ කරුණු දැක්වීම:

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ කියා සිටියේ, සැකකරුට ගුවන් ගමන් යාමට නුසුදුසු බවට වෛද්‍යවරයා නිර්දේශ කර තිබියදීත්, සැකකරු අද දින ලංකාවට පැමිණීමට ගුවන් ටිකට්පත් වෙන් කරගෙන පසුව එම ටිකට්පත් අවලංගු කරගෙන ඇති බවයි. ඇය වැඩිදුරටත් මෙසේ පැවසුවාය:

“ස්වාමීනි, මෙම වෛද්‍යවරයා 2025 සැප්තැම්බර් 14 වනදා සැකකරුගේ රෝගී තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් යාම නුසුදුසු බව නිර්දේශ කර තිබෙනවා. නමුත් එසේ තිබියදී සැකකරු සැප්තැම්බර් මස 25 වනදා ගුවන් සමාගමකට විද්‍යුත් පණිවිඩ (Emails) යවා තිබෙනවා නොවැම්බර් මස 18-21 අතර කාලය තුළ ගුවන් ගමනකින් ලංකාවට පැමිණීමට ගුවන් ටිකට්පත් වෙන් කරවා ගැනීමට. නමුත් පසුව සැකකරු ඔක්තෝම්බර් මාසයේදී ඒවා අවලංගු කරගෙන තිබෙනවා.

ඒ වගේම ස්වාමීනි, ගුවන් සමාගම මඟින් සැකකරුට යොමු කර තිබෙන ‘ගුවන් ගමනක යෙදීමේ ශක්‍යතාව ඇතිදැයි පරීක්ෂා කිරීමේ පෝරමයේ’ (Form) පැහැදිලිව දැක්වෙනවා, මොහුට තවත් පුද්ගලයෙකුගේ සහායෙන් සාමාන්‍ය පරිදි ගුවන් ගමනක යෙදිය හැකි බව. ගුවන් යානය තුළ විශේෂ පුටුවක්, ඇඳක් හෝ ඔක්සිජන් සැපයීමක් අවශ්‍ය නොවන බවට ඔහු එම පෝරමයේ කරුණු දක්වා තිබෙනවා.”

අවසාන වශයෙන්, මෙම කරුණු සලකා බලා සැකකරුගේ රෝගී තත්ත්වය පිළිබඳව අධිකරණයට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා පිළිගත නොහැකි බැවින්, ඒ සම්බන්ධව නියෝගයක් නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

21 දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ගමන් බලපත්‍ර වෙන් කරවා ගෙන තිබුණ ද පසුව ඒවා අවලංගු කරන ලද්දේ රෝගය නැවත උත්සන්න වූ නිසා බව නීතීඥවරයා පැහැදිලි කළ අතර වාර්තා පෙන්වීම නිසා උසාවියට ඒවා පිළිගන්නට සිදු විය.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *