BREAKING NEWS
Search

ඉලෙක්ට්‍රික් වාහන වලට දුන් 90% බැංකු ණය 60% ට අඩු කරන්න මහ බැංකුව දන්වයි

1509

මෝටර් රථ සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමේදී බලපත්‍රලාභී බැංකු සහ මූල්‍ය සමාගම් විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (17) නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. මෙමගින් 2018 වසරේදී හඳුන්වා දුන් නීතිරීති සංශෝධනයට ලක් කර ඇත.

 

මෙම නව නියමයන් යටතේ, වාහන සඳහා බලශක්ති ප්‍රභවය (ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් හෝ වෙනත්) මත පදනම්ව පැවති වර්ගීකරණය ඉවත් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව වාහනයේ වටිනාකමින් ලබා දිය හැකි උපරිම ණය මුදලට අදාළ සීමාවන් ද වෙනස් කර ඇත.

 

නව සංශෝධනවලට අනුව, වාණිජ වාහන සඳහා ලබා දිය හැකිව තිබූ 90%ක මූල්‍ය පහසුකම 80%ක් දක්වා අඩු කර තිබේ. මෝටර් රථ, SUV සහ වෑන් රථ සඳහා ඉලෙක්ට්‍රික් නොවන කාණ්ඩයට පැවති 50%ක ණය සීමාව 60%ක් දක්වා ඉහළ නංවා ඇති අතර, හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් කාණ්ඩ සඳහා පැවති 70% සහ 90% යන ඉහළ සීමාවන් ද මේ අනුව 60% දක්වා පහත වැටී ඇත. එමෙන්ම මෙතෙක් ඉලෙක්ට්‍රික් නොවන ත්‍රිරෝද රථ සඳහා වාහනයේ වටිනාකමින් 25%ක් ලෙස පැවති ණය සීමාව 50%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ දමා තිබීමද කැපී පෙනේ.

මෙම නව මාර්ගෝපදේශයන් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකළ වාහන සඳහා මෙන්ම, පළමු ලියාපදිංචිය සිදු කර වසරකට අඩු කාලයක් භාවිත කළ වාහන සඳහා ද බලපැවැත්වෙනු ඇත. කෙසේ වෙතත්, 2024 ජූලි 18 වන දිනට පෙර ණයවර ලිපි විවෘත කර ඇති මෙරට ලියාපදිංචි නොකළ වාහන සඳහා සංක්‍රාන්ති විධිවිධාන ක්‍රියාත්මක වන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *