දෙවැනි ඉරාන නෞකාවේ සිටි මගීන් බේරා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණයට දේශපාලන ක්ෂේත්‍රයේ කිහිපදෙනෙකු පැසසුම් පළ කර තිබේ.
එක්සත් ජනරජ පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සමාජ මාධ්‍යයේ සටහනක් තබමින්, එම තීරණය ශ්‍රී ලංකාවගේ මානුෂීය අගයන් ලොවට පෙන්වූ එඩිතර පියවරක් බව සඳහන් කළේය.
ඔහු සිය සටහනේ සඳහන් කර තිබුණේ, “ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රකිමින් මානුෂීය දයාව සියල්ලටම ඉහළින් තබමින් ජනාධිපතිවරයා ගත් තීරණයට අපගේ ගෞරවය පුද කරනවා” යනුවෙනි.
නාමල් රාජපක්ෂගෙන්ද අගය කිරීම
මේ අතර, ඉරාන නෞකාවක් වන IRIS Bushier ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ත්‍රිකුණාමල වරාය වෙත පැමිණීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද සිය පැසසුම පළ කර තිබේ.
සිය X (Twitter) ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ, කලාපීය ගැටුම් පවතින අවස්ථාවක ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ස්ථාවරයක් පවත්වා ගැනීම අතිශයින් වැදගත් බවයි.
එසේම අවශ්‍ය අවස්ථාවල මානුෂීය ආධාර ලබා දෙන අතරම ජාත්‍යන්තර නීතිය යටතේ ශ්‍රී ලංකාවට ඇති බැඳීම් ආරක්ෂා කිරීමද අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කර තිබේ.
තවද ගල්ෆ් කලාපය සහ ගෝලීය මට්ටමින් සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ගැටුමට සම්බන්ධ සියලු පාර්ශ්වයන් අතර සංවාදය දිරිමත් කිරීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කළ යුතු බවද නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.
එමෙන්ම ඉන්දියානු සාගරයේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉන්දියාව ඇතුළු කලාපීය හවුල්කරුවන් සමඟ සමීප සම්බන්ධීකරණය පවත්වා ගැනීමේ වැදගත්කමද ඔහු අවධාරණය කර තිබේ.







