විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්ම මහත්මීන් ඔවුන්ගේ නිල නිවාස රජයට භාර දීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමටත් පෙර
කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසින් පිටව ගොස් ඇති බව ඔහුගේ සමීපතමයන් පවසයි. ඒ අනුව ඔහු බත්තරමුල්ලේ පිහිටි නිවසකට ගොස් ඇති බවත්, එහිදී ඔහු සිය ඇතැම් බඩුබාහිරාදිය ඉවත් කරගෙන ඇති බවත් වාර්තා වේ.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද නිල නිවස භාරදීමට සූදානමින් සිටින බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා තහවුරු කළේය. රජය විසින් නීත්‍යානුකූලව දැනුම් දුන් වහාම ඒ අනුව කටයුතු කිරීමට ඔහු සූදානම් බව ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය. හිටපු ජනාධිපතිවරයා කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි වර්තමාන නිල නිවස අතහැර යන ස්ථානය පිළිබඳව පවුලේ අය තීරණයක් ගනු ඇති බවද ඔහු පැවසීය.
හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි සිය නිල නිවසින් පිටව යෑමට සූදානමින් සිටින බව ඇයගේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය.
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කිරීමෙන් පසුව එය පාර්ලිමේන්තුවේ සම්මත විය. මෙම පනතට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා, සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ, නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්.එම්. විජේවික්‍රම ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්ම මහත්මීන් මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීමට කටයුතු කළේ නැත. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මෙම පනතට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයකට ඇය සම්බන්ධ වී නොමැති බවයි.
ජනපතිවරුන්ගේ හිමිකම් පනතෙන් ලැබී ඇති කාරණා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් 05 දෙනකුට සහ හිටපු ජනපති ආර්යාවකට 2024 වසරේ රුපියල් කෝටි 9කට අධික රජයේ මුදලක් වියදම්කර ඇති බව පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) හෙළිවිය.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) එම තොරතුරු හෙළිකරනු ලැබුවේ මෙසේය.
පසුගිය 2024 වසර තුළ දී විශ්‍රාමික ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මැතිණියට රුපියල් විසිහය ලක්ෂ අසූ පන්දහස් හයසිය අසූවක්, විශ්‍රාමික ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට රුපියල් එක්කෝටි දහසය ලක්ෂ හැට හතර දහස් තුන්සිය හතලිස් අටක්, විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රුපියල් පන්කෝටි හතලිස් හය ලක්ෂ පනස් දෙදහස් නවසිය අනූවක්, විශ්‍රාමික ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් එක්කෝටි පනස් ලක්ෂ හැත්තෑ දෙදහස් හාරසිය පනහක්, විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රුපියල් එක්කෝටි දෙලක්ෂ විසි දෙදහස් අටසිය අසූ එකක්, විශ්‍රාමික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් තිස්හතර ලක්ෂ අනූ දෙදහස් තුන්සිය නවයක් වශයෙන් රුපියල් නව කෝටි අසූපන් ලක්ෂ හතලිස් අටදහස් තිස් නවයක මුදලක් වැය කර තිබෙනවා.
මේ හැරුණු කොට මහින්ද රාජපක්ෂ මහතා තමාගේ නිල නිවෙස නවීකරණය වෙනුවෙන් රුපියල් කෝටි 47ක් වෙන්කර ගන්නවා. ජනතාව පීඩාවට පත්ව සිටින වෙලාවක මේ මුදල වෙන්කර තිබෙනවා. 2021 කෝටි 25ක් වෙක්කරගෙන තිබෙනවා. කෝටි 18ක් 2022දී වෙන්කරගෙන තිබෙනවා. රටේ ජනතාවගේ මුදල් මෙලෙස පරිහරණය කිරීම සුදුසු නැහැ. මෙවැන්නක් කරන්න තවදුරටත් ඉඩ දියයුතු නැහැ. එහෙම හැකියාවක් නැහැ. මේ රටේ ජනතාවගේ හැම රුපියලකම ආරක්ෂාව තහවුරු කරනවා.
මුදල් වියදම් කර ඇති ආකාරය
හේමා ප්‍රේමදාස 2,685,680
චන්ද්‍රිකා කුමාරතුංග 11,664,348
මහින්ද රාජපක්ෂ 54,652,990
මෛත්‍රීපාල සිරිසේන 15,072,450
ගෝඨාභය රාජපක්ෂ 10,222,881
රනිල් වික්‍රමසිංහ 3,492,309
Source – Gossip lanka news