BREAKING NEWS
Search

බාල ගල් අගුරු මිල ඩොලර් 60යි – ලංකාවට ඩොලර් 98ට විකුණලා..!

193

බාල ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ලෝක වෙළඳපොළේ ඩොලර් 60–65 අතර මිලකට ලබාගත හැකි තත්ත්වයක, ශ්‍රී ලංකාවට එය ඩොලර් 98.50ක ඉහළ මිලකට අලෙවි කර ඇති බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ.

මෙම චෝදනාව ඉදිරිපත් කරන්නේ හිටපු අමාත්‍ය **පාඨලී චම්පික රණවක** මහතායි. ඔහු පෙන්වා දෙන්නේ ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය හරහා රජය සහ ‘ට්‍රයිඩන්’ සමාගම එක්ව රුපියල් කෝටි 400කට අධික මූල්‍ය අලාභයක් මෙරට බලශක්ති ක්ෂේත්‍රයට සිදුකර ඇති බවයි.

රණවක මහතා සඳහන් කරන්නේ, ආරම්භයේදී පොරොන්දු වී තිබුණේ කිලෝ කැලරි 6150ක ඉහළ ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 98.50කට සපයන බවයි. එහෙත් සැබවින්ම ලබාදී ඇත්තේ කිලෝ කැලරි 5500ක බාල තත්ත්වයේ ගල්අඟුරු බවත්, එවැනි ගුණාත්මකත්වයක ගල්අඟුරු ලෝක වෙළඳපොළේ ඩොලර් 60ක් හෝ 65ක් පමණ වන මිලකට මිලදී ගැනීමට හැකි බවත් ඔහු අනාවරණය කරයි.

ඒ අනුව, එක් ටොන් එකකින් ඩොලර් 20ත් 30ත් අතර අතිරේක ලාභයක් සමාගම විසින් උපයා ඇති බවත්, සමස්තයෙන් එක් ගල්අඟුරු නැවකින් ඩොලර් මිලියන 12ත් 15ත් අතර මුදලක් අයුතු ලෙස උපයා තිබිය හැකි බවත් ඔහු කියා සිටී.

**ලංකා විදුලිබල මණ්ඩලය** පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දත්ත උපුටා දක්වමින්, සෑම ගල්අඟුරු නැවකින්ම රුපියල් මිලියන 900ක, එනම් රුපියල් කෝටි 90ක පමණ පාඩුවක් සිදුවන බව ද රණවක මහතා පෙන්වා දෙයි. මේ වන විට ලබාගෙන ඇති තොග අනුව, සමස්ත අලාභය රුපියල් කෝටි 400කට ආසන්න විය හැකි බවද ඔහුගේ චෝදනාවයි.

තවද, ටෙන්ඩරය ලබාගත් ‘ට්‍රයිඩන්’ සමාගම ඉන්දියාවේදී මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් අවධානයට ලක්වූ ආයතනයක් බවත්, ඔවුන්ට අවස්ථාව සලසා දීම සඳහා ටෙන්ඩර් කොන්දේසි වෙනස් කර තිබිය හැකි බවත් ඔහු පවසයි.

මෙම සිද්ධිය “ජාතික අපරාධයක්” ලෙස විස්තර කරන රණවක මහතා, ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට එරෙහිව අනාගතයේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද අවධාරණය කර ඇත.

මෙම චෝදනා සම්බන්ධයෙන් රජය හෝ අදාල පාර්ශවයන් විසින් මෙතෙක් සවිස්තරාත්මක ප්‍රතිචාරයක් නිකුත් කර නොමැති අතර, මෙය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් අවශ්‍ය බව දේශපාලන වටවල අදහස් පළ වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!