ඉරාන යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වසර හතරකට පසු ප්‍රථම වතාවට බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. කෙසේ වෙතත්, සෙසු රටවලට සාපේක්ෂව මෙම තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට චීනය සූදානම්ව සිටින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
චීනය ලොව විශාලතම තෙල් ආනයනකරු වුවද, පසුගිය දශක දෙකක කාලය තුළ ඔවුන් ක්‍රමයෙන් සිය බලශක්ති උපායමාර්ගයන් වෙනස් කර තිබීම මෙයට ප්‍රධාන හේතුවයි.
විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි චීනය සතුව දැනට බැරල් බිලියන 1.2ක පමණ දැවැන්ත ගොඩබිම් තෙල් සංචිතයක් පවතී. මෙය එරටට මාස 3 සිට 4 දක්වා කාලයකට ප්‍රමාණවත් වන අතර, එමගින් මිල ඉහළ යාම නිසා ඇතිවන ක්ෂණික ආර්ථික කම්පනය ප්‍රභල ලෙස පාලනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ.
චීනය සිය බලශක්ති අවශ්‍යතාවයන් සඳහා ෆොසිල ඉන්ධන මත යැපීම අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කැපී පෙනේ. විශේෂයෙන්ම විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම හේතුවෙන් දිනකට තෙල් බැරල් මිලියනයකට අධික ප්‍රමාණයක ඉල්ලුමක් දැනටමත් අඩු කිරීමට ඔවුන් සමත් වී ඇත. මේ වන විට චීනයේ අලෙවි වන නව මගී වාහනවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නව බලශක්ති වාහන ම විශේෂත්වයකි.
මීට අමතරව, සූර්ය සහ සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත වේගයෙන් යොමු වෙමින් පවතින චීනය, 2030 වන විට සිය මුළු බලශක්ති පරිභෝජනයෙන් 25%ක් ෆොසිල නොවන ඉන්ධන මගින් සපුරා ගැනීමට ඉලක්ක කර සිටී.
ඉන්දියාව වැනි රටවල් තෙල් ආනයනය මත දැඩි ලෙස යැපෙන පසුබිමක, චීනය සිය බලශක්ති සැපයුම විවිධාංගීකරණය කර ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි අවදානම් සහගත නාවික මාර්ග හරහා සිදුවන තෙල් ගමනාගමනයට ඇති සංවේදීතාව චීනය සැලකිය යුතු ලෙස අඩු කරගෙන තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වන විශේෂඥයන් පවසන්නේ, වර්තමාන තෙල් මිල ඉහළ යාම චීනය දැනටමත් ගමන් කරමින් සිටින බලශක්ති විවිධාංගීකරණ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇති බවයි







