මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 22 හැවිරිදි තරුණියක් අසාධ්‍ය තත්ත්වයට පත්ව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කිරීමෙන් පසු මියගොස් ඇති සිද්ධියක් පිළිබඳව දැඩි විවාදයක් ඇතිව තිබේ.
මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ ජාපාල වත්ත ප්‍රදේශයේ පදිංචි සෙනුරි තක්ෂිලා නමැති විවාහක තරුණියකි. ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම මස 18 වනදා මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර දින හතරක් එහි ප්‍රතිකාර ලැබූ බව පවුලේ අය පවසයි.
ඇය ඉකුත් 22 වනදා අලුයම 1ට පමණ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර තිබූ අතර, එහි ඇතුළත් කර විනාඩි 20කට පමණ පසු ඇය මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම මරණය සම්බන්ධයෙන් මියගිය තරුණියගේ මව්පියන් සහ සැමියා දැඩි චෝදනා එල්ල කරමින් කියා සිටින්නේ, මිනුවන්ගොඩ මූලික රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා ඇයගේ ජීවිතය අහිමි වූ බවයි. ඔවුන් පවසන්නේ දින 4ක් රෝහලේ ප්‍රතිකාර ලබා තිබුණද ඇයට වැළඳී තිබූ රෝගය නිසි ලෙස හඳුනා නොගත් බවයි.
මේ අතර සිදු කළ මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ සෙනුරි ඩෙංගු රෝගයට ගොදුරු වීම හේතුවෙන් මියගොස් ඇති බවය. එහෙත් පවුලේ අය පෙන්වා දෙන්නේ, එම රෝගය කාලයත් සමඟ හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා දුන්නේ නම් මෙම අනතුර වළක්වා ගත හැකිව තිබූ බවයි.
සෙනුරිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ කටයුතු හෙට (25) මිනුවන්ගොඩ ජාපාල වත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් වැඩිදුර විමර්ශන සිදු කරන්නේද යන්න පිළිබඳව ජනතා අවධානය මේ වනවිට යොමුව තිබේ.(Ape Rata)







