BREAKING NEWS
Search

ශ්‍රී ලංකා තේ වලට ගීනස් වාර්තාව සමග ‘නොබෙල් තෑග්ගක්’ හිමිවුණාද?

1281

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර ඇත්තේ ලොව මිල අධිකම තේ ප්‍රභේදය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමත් සමග ශ්‍රී ලංකාව ‘තේ සඳහා වන නොබෙල් ත්‍යාගය’ දිනාගෙන ඇති බවයි. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය ඊයේ (29) දිනයේදී සිදු කළේය. මෙම ප්‍රකාශයේ ගීනස් වාර්තාව සත්‍යයක් වූවද නොබෙල් තෑග්ගක් තේ වෙනුවෙන් ලබාදී ඇති බව ගැටලුකාරී ප්‍රකාශයකි.

 

මෙම ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ නිව් විතානකන්ද තේ කර්මාන්තශාලාව වන අතර, ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද FFExSp වර්ගීකරණයට අයත් විශේෂිත කළු තේ කිලෝග්‍රෑමයක් ජපානයේදී ශ්‍රී ලංකා රුපියල් 252,500 ක වාර්තාගත මිලකට අලෙවි වීමත් සමග මෙම ජයග්‍රහණය හිමිවී තිබේ. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් බවත්, ශ්‍රී ලංකා තේ සතු අසමසම ගුණාත්මකභාවය එමගින් යළිත් වරක් සනාථ වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

තේ වගාව සඳහා පැවති පොහොර ගැටලුවට විසඳුම් ලබාදී ඇති බවත්, ඒ සඳහා QR කේත ක්‍රමයක් හඳුන්වා දී ඇති බවත් ඔහු සඳහන් කළේය. උසස් තත්ත්වයේ ශ්‍රී ලංකා තේ සඳහා තවමත් ලෝකයේ ඉහළ පිළිගැනීමක් පවතින බැවින්, ගෝලීය ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය බවද සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, නොබෙල් ත්‍යාගය යනු ඩයිනමයිට් හඳුන්වාදුන් ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අවසන් කැමැත්තට අනුව මානව වර්ගයාට විශිෂ්ටතම සේවාවක් සිදු කළ පුද්ගලයින් සඳහා පිරිනමනු ලබන ඉහළම ගෞරව සම්මානයකි. එය වාර්ෂිකව භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව, සාහිත්‍යය, සාමය සහ ආර්ථික විද්‍යාව යන නිශ්චිත ක්ෂේත්‍ර හයක් සඳහා පමණක් ප්‍රදානය කරනු ලබයි.
ඇමතිවරයාගේ ප්‍රකාශයේ ඕඩියෝව පහතින්

gossip lanka news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *