BREAKING NEWS
Search

ගායන ලෝකේ සුකුමාල කෙල්ලන් අතර තරුණ කටහඬවල් හිමි මේ ආච්චි අම්මලා දෙන්නා ගැන දන්නවද ?

880

‘ඉඟසුඟ ගත හැක මිටින’ සුකුමාල කෙල්ලන් ගායන ලෝකේ කොච්චර හිටියත්, මේ ආච්චි අම්මලා දෙන්නාගේ තරුණ කටහඬවල් දෙක ඇහෙනකොට අපේ හිත් යොවුන් බවින් පිරී ඉතිරී යන එක මට අදටත් විශ්වාස කරන්න අමාරු කාරණයක්.

පළවෙනියට ඉන්නේ කේ.එස්. චිත්‍රා නමැති දකුණු ඉන්දීය අති සුපිරි ගායිකාව. රෝජා චිත්‍රපටයේ ගීතත් එක්ක අපි කොච්චර ආදරය විඳලා ඇතිද… “ඉන්දියාවේ රන් හඬ” කියලයි ඇයට කියන්නේ. මේ වෙනකොට ගීත 25000ක් විතර ගයපු ශිල්පිනියක්.

මයික්‍රොෆෝනයක් අතට ගත්තහම ඇස් දෙක විතරයි වහගන්නේ. නැටිලි, දැඟලිලි මොකුත් නෑ. ඒ ප්‍රාසාංගිකත්වය තියෙන්නේ ගායනයේ මිස අතේ පයේ නෙමෙයි. ඒ ඉමිහිරි හඬේ යෞවනත්වය ඇය විසින් ඇගේ ජීවිතයේ 6වැනි දශකය පසුකරද්දීත් නොවෙනස්ව පවත්වාගැනීම මට නම් පුදුමයක්.

දෙවැනියට ඉන්නේ අනුරාධා පෝද්වාල් කියන උත්තර භාරතීය විශිෂ්ට ගායිකාව. “දිල් හේ කෙ මාන්තා නහී” කියන ගීතය මම ඉස්සර පාසල ඇරිලා වෑන් එකේ එනකොට අහගෙන ආපු උත්කර්ෂයෙන්ම මට අදටත් ඇයගෙන් අහන්න පුළුවන්. කෙස් පැහිලා, ශරීරය වෙනස් වෙලා ගියත් යූටියුබ් අවකාශයේ ගීත ලැයිස්තු අතර 26වැනියට ඉන්නේ ඇයයි. ලතා මංගෙෂ්කාර්ට පසුව ඩී.වයි. පාටිල් විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධියක් ලබපු දෙවැනි ගායිකාව. ගීත 9000ක් විතර ගයපු ගායිකාවක්. ඇයට දැන් අවුරුදු 70යි.

වයසින් වැඩිහිටි වෙද්දී තමන්ගේ හඬ එකම විදියට රඳවා තබාගන්න ලැබීම වාසනා ගුණයකුත් තමයි. ඒත් ඒ සඳහා ඔවුන්ගේ කැපවීම කොපමණ තියෙන්න ඇතිද? ඔවුන් නොනැවතී අභ්‍යාසයේ යෙදෙන්න කොපමණ කාලයක් වැයකරනවා ඇතිද?

අපේ රටේ බොහෝ ගායක ගායිකාවන් වයසින් මුහුකුරා යද්දී ඔවුන්ගේ හඬ, ගායන හැකියාව වියැකෙන ප්‍රමාණය වැඩියි. ඊට ප්‍රධානම හේතුව වෙනවා ඇත්තේ අභ්‍යාසයේ අඩුකම. අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේම වයස අවුරුදු 50න් පස්සේ ජීවිතය අත්හරින්න.

ගාමිණී ජීවරත්න කියන ගායකයාව කාලෙකින් මතක් වෙලා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් රසිකයා විශ්මයට පත්වෙලා ඉන්නේ ඒකයි. වයසක මනුස්සයෙක් තමන්ගේ හැකියාවේ ඉහළ රැඳෙන එක ලංකාවේ අපට මැජික් එකක්.

ඒත් තරුවක් වුණහම එහෙම වැටෙන්න බෑ. තරුවක් ප්‍රේක්ෂකයන්ගේ අහසේ බැබළෙන්න ඕන නොනැවතීම. ඒක ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට කරදරකාරී වුණත්, ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් තියෙන අහිංසක බලාපොරොත්තුවක්.

මේ තරු දෙක එවැනි බැබළෙන තරු දෙකක්. ඔවුන්ට දීර්ඝායු වෙන්න ඕන!

– අසංක හදිරම්පෑල.✍️




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!